හවුල් ගිවිසුම අවසන් වුණාම මොකද කරන්නේ?

  👤  3343 readers have read this article !
By mawbima 2017-08-13

ජනතාවගේ බලයෙන් හවුල පරාජය කළ යුතුයි

දැන් ඔය එ. ජා. ප. යයි, ශ්‍රී ල. නි. ප. යයි එකතු වෙලා හවුල් ආණ්ඩුවක් හදද්දී බොහෝ දෙනෙක් කිව්වේ මේක රන් රස සමාන පෑහීමක් කියලයි. හිතුවේ මාර වෙනසක් සිදුවෙයි කියලයි. නමුත් අපි නම් කිව්වේ මේක කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ වැඩක් කියලයි. නරකට නරක එකතු වුණාම ප්‍රතිඵලය හොඳ වෙන්නේ නැහැ.
මේ පක්ෂ දෙක එකතු වෙනකොට ඒ එකතු වීම උදෙසා ඔවුන් දැක්වූ කරුණු සත්‍ය ඒවා නෙවෙයි. ඇත්තම කාරණා 02 යි ඒ එකතුවට බලපෑවේ. එකක් තමයි ලංකාව තුළ කොල්ලකාරී පීඩාකාරී ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම, දෙක තමයි ඒ වන විට මේ පක්ෂ දෙකම බරපතළ අයුරින් මුහුණ දීලා හිටපු බල අර්බුදය. මෙන්න මේ ඇත්ත හේතු දෙක සාක්ෂාත් කරගන්න තමයි ඔවුන් මේ හවුල් ආණ්ඩු ගිවිසුම අස්සන් කළේ. නැතිව ඔවුන්ගේ ගිවිසුමේ තියෙන යහපත් කරුණු සාක්ෂාත් කරන්න නෙවෙයි. අපි නම් හිතන්නේ ඔවුන් තව කාලය දීර්ඝ කර ගනියි. මොකද අගෝස්තුවෙන් ගිවිසුමේ කාලය අවසාන වුණාට ඔවුන්ගේ අවශ්‍යතා අවසාන වෙලා නැහැ. මේ හවුල පවතියිද නැද්ද හිතනවාට වඩා අපිට අවශ්‍ය ජනතාවගේ බලය හරහා මේ හවුල පරාජය කරන එකයි.

පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ පවත්වන්න යෙදිලා තිබුණා, නමුත් ඒවා කල් දැම්මා. පළාත් සභා මැතිවරණය 2019 වන තෙක් පවත්වන්නේ නෑලු. මොකද මේ පක්ෂ දෙක වෙන වෙනම තරග කළොත් මේ දෙකට තනි තනිව පවතින්න බැරි බව ඔවුන් දන්නවා. 2020 මැතිවරණය වන තෙක් මේ හවුල පවත්වාගෙන යන්නයි ඔවුන්ට අවශ්‍ය, ඔවුන් ආරම්භ කරපු නව ලිබරල් ව්‍යාපෘතිය හරහා මේක 2020 වන තෙක් අවසන් කරන්නේ නැහැ.

ඉල්ලා අස්වෙලා ජනතාවගෙන්
සමාව ගත යුතුයි

මේ රටේ ජනතාව මේ වන විට ඉතාම අවබෝධයෙන් යුතුව කටයුතු කරනවා. ඔවුන් දන්නවා මේ යහපාලන ආණ්ඩුව හොරු සමඟ හෙලුවෙන් නිදිවදින බව. අපි ඒකාබද්ධ විපක්ෂය විදියට වරින්වර ඔවුන්ගේ හොරකම් දූෂණ ගැන පැමිණිලි කළා, රටට එළි කළා, නමුත් බීරි අලි වගේ හැසිරෙනවා විනා ඉන් එහාට දෙයක් නැහැ. මේ ආණ්ඩුවේ ඉන්න දේශපාලන ප්‍රබලයෝ සියලු දෙනා මේ හොරකම්වලට වගකිව යුතුයි. ලැජ්ජාවක්, ආත්මගරුත්වයක් ඔවුන්ට තිබෙනවා නම් ඔවුන් ඉල්ලා අස්වෙලා ජනතාවගෙන් සමාව ගත යුතුයි.

මේ ආණ්ඩුව සදාචාර විරෝධීයි

මේ ආණ්ඩුව පත්වුණු දා සිට ජ. වි. පෙ. අපි කිව්වේ මේ පත්වුණේ ඉතිහාසයේ පිළිකුල්ම සහගත ආණ්ඩුව කියලයි. එක්සත් ජාතික පක්ෂයේ දූෂිත පිරිසකුයි, රාජපක්ෂ සමයේ හිටපු දූෂිත ශ්‍රී ල. නි. ප යේ පිරිසකුයි එකතු වෙලා තමයි මේ පිළිකුල් සහගත ආණ්ඩුව නිර්මාණය කළේ. මේ වගේ දූෂිතයෝ පිරිසක් එකතු වෙලා මේක හදපු නිසාම තමයි අපි මේක පිළිකුල් සහගත ආණ්ඩුවක් කියලා හඳුන්වන්නේ.

පසුගිය වසර 10, 15 තුළ පවත්වපු මැතිවරණ සමඟ සංසන්දනාත්මකව ගත් විට 2015 මේ ආණ්ඩුවට ලැබුණු ජනවරම ඉතා සුවිශේෂීයි. මොකද මේක මේ ප්‍රධාන පක්ෂ දෙකේ නායකයෝ දෙන්නා තම තමන්ගේ ශක්තියෙන්, මහන්සියෙන් ලබා ගත්තු ජනවරමක් නෙවෙයි මේක. ඇත්තටම මහින්ද රාජපක්ෂව එපා වෙලා ඔහුව පන්නා ගන්න තමයි මේ ජනවරම ඔවුනට දුන්නේ. එහෙම බලද්දී මීට පෙර නායකයෝ ලබාගත් ජයග්‍රහණ සමඟ බලද්දි මේක විශේෂයි. මේ ජනවරම ලබා ගන්නා තෙක් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා හිටියෙත් ඔය රාජපක්ෂ කණ්ඩායමේ හොරුත් සමඟ. එතුමා ඒ පක්ෂයේ මහ ලේකම්, එතුමා එතකොටත් පොඩි කෙනෙක් නෙවෙයි. එහෙම බැලුවම මේ සම්මුතිවාදී ආණ්ඩුවම නීති විරෝධීයි. සදාචාර විරෝධීයි. වැඩිපුර ඡන්ද ගත්තු පක්ෂය
සුළුතර බලයක් ඇතිව හරි ආණ්ඩුවක් පිහිටෙව්වා නම් ඒක මීට වඩා සදාචාරාත්මතයි.

ජනාධිපතිතුමයි
අගමැතිතුමයි
තීරණය දෙයි

තවම ගිවිසුම අවසාන කරනවද නැද්ද කියන එක ගැන ස්ථිර අදහසක් නැහැ. ජනාධිපතිතුමයි, අගමැතිතුමයි මොකක්ද කරන්නේ කියන එක තීරණය කරයි. අපි ඉතින් ඒ තීරණේ දෙනකන් බලාගෙන ඉන්නවා.

මධ්‍යම කාරක සභාව තීරණය කරයි

හැන්ද තියෙන්නේ ආණ්ඩුව අතේ, හැන්දට අහුවෙන විදියට බෙදලා පෙන්නයි. දෙසැම්බර් 31 වෙනකන් මේක යනවා. ඊට පස්සේ තව අවුරුදු 3ක් දීර්ඝ කරයි. කොහොම වුණත් මධ්‍යම කාරක සභාවෙන් ඕක තීරණය කරයි. ඉතිරි ටික ඒ වෙලාවට තමයි බලන්න වෙන්නේ.

වසර දෙක අවසානයේ විපක්ෂයට එන්න ඕනෑ

යහපාලන ආණ්ඩුවේ හවුල් ගිවිසුම අගෝස්තු 22 අවසාන විය යුතුයි. මේ වසර දෙක ආපසු හැරිලා බලද්දී මේකෙන් හවුල් ආණ්ඩුව ගත් එක් තීරණයක්වත් රට වෙනුවෙන් ගත්තු ඒවා නෙවෙයි. රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමට ශ්‍රී ල. නි. ප. යේ අපි විරුද්ධයි. නමුත් එ. ජා. ප. ය දැන් කරගෙන යන්නේ අපි කරන්න අකැමැතිම දේ. මේ ආණ්ඩුව කරගෙන යන දේවල්වලට විරුද්ධ ජනතාව කිහිපවරක්ම පාරට බැස්සා.

මම නම කියන්නේ මේ වසර දෙක අවසන් වුණාම අපේ අය විපක්ෂයට එන්න ඕනෑ. එහෙම බැරි නම් අපේ අය ආණ්ඩුවක් හදන්න ඕනෑ. මේ ගිවිසුම වසර 02 යි නම් අපේ අය තීරණයක් ගත යුතුයි. මේක අන්තිම අසාර්ථක ආණ්ඩුවක්. මේ ආණ්ඩුවට තවමත් බැරි වුණා බැඳුම්කර ප්‍රශ්නය විසඳන්න, උමා ඔය ප්‍රශ්නෙත් එහෙමයි, සයිටම් ප්‍රශ්නෙත් එහෙමයි. කණ්ඩායම් දෙකක්. අදහස් දෙයාකාරයි. මුළු රටම ආපස්සට ගිහින්. අපි ශ්‍රී ල. නි. ප. යේ මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා ආණ්ඩුවෙන් එළියට එන්න, ඇවිත් එකතු වෙලා යළිත් ආණ්ඩුවක් පිහිටුවමු කියලා.

ප්‍රතිපත්ති පරස්පරයි

කාලය නිමා වුණාට පස්සේ ශ්‍රී ල. නි. ප. යේ අය තම තමන්ගේ තනතුරුවලින් ඉවත් වෙන එක තමා ඥානාන්විතම වැඩේ. මේ සිද්ධ වෙන බොහොමයක් දේවල් අපි අපේක්ෂා කළ දේවල් නෙවෙයි. ශ්‍රී ල. නි. ප. අපේ ප්‍රතිපත්තියි, එ. ජා. ප. යේ ඔවුන්ගේ ප්‍රතිපත්තියි පරස්පරයි. අපි රාජ්‍ය ආයතන විකුණනවාට කැමැති නැහැ. තැපැල් දෙපාර්තමේන්තුව, වරාය, හිල්ටන් හෝටලය ආදී රාජ්‍ය ආයතන ගණනාවක් මේ වන විට පෞද්ගලීකරණයට ලක්වෙමින් පවතිනවා. ඒ දේවල් අපි අනුමත කරන්නේ නැහැ. පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ල. නි. ප. යේ ඉන්න අති බහුතරයකගේ කැමැත්ත වෙන්නේ ගිවිසුම අවසන් වුණාම ඉවත් වීමයි.

ඉදිරියට එන
ආණ්ඩුත්
පක්ෂ එකතු වෙලා
කරන්න ඕනෑ

කිසිම කතාවක් නෑ, මේ සම්මුතිවාදී ආණ්ඩුව වසර 5ක් ක්‍රියාත්මක වෙනවා. නයි, පොළොංගු වගේ වෛරයෙන් හිටපු පාර්ශ්වයන් දෙකක් එකතු කරලා තමයි මේ ආණ්ඩුව හැදුවේ. ඒක ලේසි පහසු කර්තව්‍යයක් නෙවෙයි. නයි පොළොංගු වගේ හිටිය දෙපාර්ශ්වයකට එකට එකතු වෙලා ආණ්ඩු කරන එකත් ලේසි නැහැ. මේ සම්මුතිවාදී ආණ්ඩුව සම්බන්ධයෙන් ඇතැම් අයට ප්‍රශ්න තිබෙනවා. නමුත් ඒ අයගේ ප්‍රශ්න විසඳනවාට වඩා මේ ක්‍රමයෙන් රටටත් ජනතාවටත් කරන්න පුළුවන් යහපත විශාලයි. මම නම් කියන්නේ ඉදිරියට එන ආණ්ඩුවත් මේ වගේ පක්ෂ දෙකක් එකතු වෙලා කරනවා නම් හොඳයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්