යාපනයේ වැන්දඹුවන්ට SEX TALK දාන නිලධාරී සල්ලාලයෝ

  👤  3539 readers have read this article !
By mawbima 2017-08-13

කාලකණ්ණි යුද්ධයට වැඩි වශයෙන්ම සහභාගි වූයේ පිරිමින් නිසා එහි අවසාන ඉරණම වශයෙන් උතුරු පළාත තුළ කාන්තාවෝ දහඅට දහසක් පමණ වැන්දඹුභාවයට පත්ව සිටිති.

මේ වැන්දඹු කාන්තාවන්ගෙන් 8%ක් යුද්ධය නිසා ආබාධිත තත්ත්වයට පත්වූවෝ වෙති. මෝටාර් උණ්ඩ, කාලතුවක්කු උණ්ඩ හා වෙඩිඋණ්ඩවලට හසුවූ ඔවුන්ගේ ඇතැමකුගේ ඇසක් නොමැත. කකුලක් හෝ අතක් නොමැත. දෙකක් ඇති අවයවවලින් දෙකම අහිමිවූ වැන්දඹු කාන්තාවෝද අද උතුරේ ජීවත් වෙති.
මීට අමතරව වැන්දඹු කාන්තාවන්ගෙන් තවත් පිරිසක් බෝම්බ කැබලි, කාලතුවක්කු උණ්ඩ කැබලි සිරුරේ තබාගෙන ජීවත් වන්නෝ වෙති. ඔවුන් සදාකාලික රෝගී කාන්තාවන්ය.

කෙසේ නමුත් දිවයිනේ සෙසු වැන්දඹු කාන්තාවන්ට වඩා යුද්ධය හේතුවෙන් වැන්දඹුභාවයට පත් උතුරේ කාන්තාවන් තුළ විශේෂ ලක්ෂණයක් වෙයි. ඒ පුර්ණ දරිද්‍රතාවයි. යුද්ධය හේතුවෙන් ඔවුන් සතුව වූ ගේ ‍ෙදාර පමණක් නොව සබ්බ සකලමනාවම විනාශයට පත්වූ හෙයින් ඔවුන්ගේ ජීවිත යළිත් මුලසිට "අ" යන්නෙන් පටන්ගැනීමට සිදුව තිබේ.

ස්වාමියාද අහිමිව සම්පත්ද අහිමිව කල්ගෙවන මේ කාන්තාවන්ගේ ජීවිකාව ඉතා ශෝචනීය තත්ත්වයක පවතී. යුද සමයේදී හරිහැටි අධ්‍යාපනයක් ලබාදීමට නොහැකි වූ සිය දූදරුවන්ගේ ප්‍රශ්නද බොහෝවිට කඩාපාත් වී ඇත්තේ මේ වැන්දඹු කාන්තාවන්ගේ කරපිටටය.

දැන් යුද්ධය හමාරය. යුද්ධයෙන් පීඩාවට පත්වූවන් උදෙසා සහන සැලසීමේ කටයුතු දියත් වෙමින් පවතී. ඉන් ඉතාම වැදගත් වන්නේ තමන්ගේ පවුලට කෙසේ හෝ ස්ථිර නිවෙසක් ලබාගැනීමේ උත්සාහයයි. මේ නිවෙස ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු වන ලිපි ලේඛන රැසකි. රජයේ නීති රෙගුලාසිවලට අනුව ඉඩමක ඔප්පුවක්, විවාහ සහතික, මියගිය අයගේ මරණ සහතික ආදී වශයෙන් වූ මීගොන් වස්සෙක් තරමට ලොකු ලිපි ගොනුවක් මේ සඳහා සකසා ගත යුතුය.

උතුරේ සියලු දෙනාම රජයේ කාර්යාලවලට යමින් සිය ලිපිගොනුව සම්පූර්ණ කරගැනීමට උත්සාහ දැරීම මේ දිනවල ඉතා සුලබව දැකිය හැකි දසුනකි. වැන්දඹු කාන්තාවෝද මේ පෝලිම්වලට එක්වෙති. ඔවුන් හැම පැත්තකින්ම අසරණය. මේ බව දත් රජයේ නිලධාරීන් වැන්දඹු කාන්තාවන් සිය වසඟයට ගැනීමට මාන බලති. ඇතැමකුගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටිති.

සිංහල සංස්කෘතියට වඩා දෙමළ සංස්කෘතිය මඳක් වෙනස්ය. ඔවුන්ගේ ඇඳුම පවා (වර්තමාන දෙමළ තරුණියෝ නොව) කිසිදු ලිංගික උත්තේජනයකට ඉඩ නොලැබෙන පරිද්දෙන් සකස් කරගැනීමට දෙමළ කාන්තාවෝ උත්සාහ දරති. අනියම් සබඳතා පැවැත්වීමට හෝ වැරැදි ලිංගික ක්‍රියාවල නිරත වීම දෙමළ සංස්කෘතිය තුළ ඉතා පහත් ක්‍රියාවන්ය. මේ නිසා ඔවුහු සිය පතිව්‍රතතා ධර්මය ආරක්ෂා කර ගැනීටම දිවි හිමියෙන්ම කටයුතු කරති.

නමුත් උතුරේ වැන්දඹු කාන්තාවන්ට සිදුව ඇත්තේ "කියා සඟ නසී.... නොකියා වෙහෙර නසී" යනුවෙන් වූ කතාවට නොදෙවැනි තැනකි. නිලධාරීන් ලිංගික අල්ලස් ඉල්ලා සිටින විට ඊට අවනත නොවුවහොත් මුළු පරම්පරාවටම ලැබෙන දේ අහිමි වී යා හැකිය. ලිංගික අල්ලසට එකඟ වී ඒ අනුව ක්‍රියාකිරීම ඔවුන්ගේ ජීවිතවලට ඉතා අවදානම් වූවකි.

කෙසේ වෙතත් උතුරේ කාන්තා ස්වේච්ඡා සංවිධාන පෙන්වා දෙන අන්දමට නිලධාරීන් වැන්දඹු කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ගැනීම ඉතා ශීඝ්‍රයෙන් වැඩිවී තිබේ. නමුත් මේ පිළිබ¼දව ලැබෙන පැමිණිලි ඉතා අල්පය. සිය ජීවිතය පිළිබඳව වූ ආත්මාභිමානයත්, ලැජ්ජාවත් නිසා කෙසේ හෝ මේවා වසන් කරගෙන සමාජය තුළ ජීවත් වීමට ඔවුන් දරන උත්සාහය නිසා නිලධාරීන්ට ලිංගික අල්ලස් ලබාගැනීම ඉතා පහසුය.

දිනකට මේ පිළිබඳව පොතක පතක ලියැවුණු පැමිණිලි ඇත්තේ පහක් පමණි. ඉන් පළමු පැමිණිල්ල වාර්තා වන්නේ වවුනියාවේ තාලිකුලම ප්‍රදේශයෙනි.
එක් ස්වේච්ඡා සංවිධාන නිලධාරියකු වැසිකිළියක් ලබාදීම සඳහා එක් වැන්දඹු කාන්තාවකගෙන් ලිංගික අල්ලසක් ඉල්ලා තිබිණි. වැන්දඹු කාන්තාව එය ප්‍රතික්ෂේප කළ හෙයින් ඇයට ලැබීමට නියමිතව තිබූ වැසිකිළිය අහිමි වී ගියේය. ඉවෙන් සිටින තවත් කාන්තාවක් මේ පුවත අසා අදාළ නිලධාරියා හෙමින් යාළු කරගත්තේය.

ලිංගික අල්ලසකට යටත්ව මේ වැසිකිළිය ලබාගැනීමට ඒ කාන්තාව එකඟ වූ බැවින් පෙර කාන්තාවට ලැබීමට නියමිතව තිබූ වැසිකිළිය අලුත් කාන්තාවට ලැබිණි. දැන් ලේඛනයේ නම සඳහන්ය. ඊළඟට සිදුවිය යුත්තේ අදාළ නිලධාරියාට ලිංගික අල්ලස ලබාදීම පමණි. දවසින් දවස චාටුබස් ‍ෙදාඩා නිලධාරියාව වටේ යැවූ කාන්තාව වැසිකිළිය සඳහා පළමු මුදල් වාරිකය ලැබෙන තුරුම ලිංගික අල්ලස ලබාදීමෙන් බේරී සිටියාය.

පළමු වාරිකය ලද දිනයේම අදාළ නිලධාරියා ඇය සොයා පැමිණියේය. අවසානයේදී මහා ගාලගෝට්ටියක් බවට ලිංගික අල්ලස් සිද්ධිය පත්විණි. කාන්තාව මේ පිළිබඳ අදාළ නිලධාරීන්ට පැමිණිලි කොට ලිංගික අල්ලස නොදී වැසිකිළියේ අයිතිය තහවුරු කරගත්තාය. අදාළ නිලධාරියාට දඬුවමක් වශයෙන් ලැබුණේ ස්ථාන මාරුවීමක් පමණි.
අධිකරණය දක්වාම ගිය ලිංගික අල්ලස් සිද්ධිය වාර්තා වන්නේ කිළිනොච්චිය ප්‍රදේශයෙනි. ශ්‍රී ලංකා රතු කුරුස කමිටුවේ නිලධාරියකු එක් කාන්තාවකට නිවෙසක් ලබාදීම සඳහා ලිංගික අල්ලසක් ඉල්ලා සිටියේය. දැඩි ලෙස පෙරෙත්ත කිරීම් සිදුවුවත් නිලධාරියාගේ බසට කාන්තාව එකඟ නොවූ නිසා අවසන් ප්‍රතිඵලය වූයේ කාන්තාවට හිමි වූ නිවෙස අහිමිවී යෑමය.

ඒ කාන්තාවද නිකම්ම නිකං සිටියේ නැත. පොලිසියට පැමිණිලි කළාය. පළාතේ දේශපාලන අධිකාරියද නිලධාරීන්ද දැනුවත් කළාය. අවසානයේදී රතු කුරුස නිලධාරියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුවත් ලිංගික අල්ලස ලබා නොදුන් කාන්තාවට නිවෙස අහිමි විය.
යාපනයේදී මෙවැනි සිද්ධීන් දෙකක් වාර්තා වෙයි. ඒ චාවකච්චේරි හා යාපනයේ වේලනෙයි යන ප්‍රදේශවලිනි. මේ ලිංගික අල්ලස් ඉල්ලා තිබුණේ නිවාස දෙකක් සඳහා සුදුසුකම් ලැයිස්තුවට නම් ඇතුළත් කිරීම පිණිස ග්‍රාම නිලධාරිවරයකුට හා කාර්මික නිලධාරියකුට එරෙහිවය.

ලිංගික අල්ලස් ඉල්ලා සිටි නමුත් ඒවා පැහැදිලි ලෙස ඔප්පු කිරීමට එක් කාන්තාවකට සාක්කි නොතිබුණු බැවින් ග්‍රාම නිලධාරිවරයා නිදහස් විය. කාර්මික නිලධාරියා සම්බන්ධයෙන් වූ පරීක්ෂණ තවමත් ඇදෙමින් පවතී.

මුලතිව් දිස්ත්‍රික්කයේ ධීවර කාන්තාවකට සහනාධාර ක්‍රමය මත ඔරුවක් හා දැල් ආම්පන්න ලබාදීම සඳහා ලිංගික අල්ලස් ඉල්ලා සිටි ධීවර සමිති නිලධාරියකු පිළිබඳ උතුරේ කාන්තා සමිතියකට පැමිණිලි ලැබී තිබේ. කාන්තාව මේ සිද්ධිය තරයේම ප්‍රකාශ කළත් අදාළ ධීවර සමිති නිලධාරියා චෝදනාව ප්‍රතික්ෂේප කරමින් සිටියි.
උතුරේ වැන්දඹු කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටීම වැඩිවී ඇතත් උතුරේ කාන්තා සංවිධාන පෙන්වා දෙන අන්දමට මේ ක්‍රියාවල වැරැදිකරුවන්ට දඬුවම් ලැබීමක් සිදු නොවෙයි. කාන්තාවකගේ උපතින්ම එන දුර්වලතාවයන්, යුද්ධයෙන් සිදුවූ අහිංසකභාවයන් පෙරදැරි කරගෙන චූදිතයෝ කෙසේ හෝ ජය ලබති.

නමුත් ලිංගික අල්ලස් ලබා දෙමින් නිලධාරීන්ගේ අභිමතයන්ට ඉඩදී බෙහෝ දේ ලබාගන්නා උතුරේ වැන්දඹු කාන්තාවන්ද නැතුවාම නොවේ. ආශාව, වාසිය හා වුවමනාකම් මත ඒවා සිදුවූවත් ඒ සෑම සිද්ධියක්ම පැමිණිල්ලකින් තොරව නිදන් ගත වී තිබේ.

රසාදි චතුරංගි ගමගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්