උඹේ කටෙත් බදු මගේ කටෙත් බදු

  👤  3212 readers have read this article !
By mawbima 2017-08-13

බදු ආදායම මහජන යහපතට බව ප්‍රකටව අඟවන මතයකි. අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ප්‍රවාහන ඇතුළු මහජන සුබසාධන අංශවලට වියදම් කරන්නේ ආණ්ඩුවේ බදු ආදායමයි. ගොවියන්ට සහනාධාර දෙන්නේත්, දුප්පතුන් නඟාසිටුවන්නේත් ආයෝජකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කරන්නේත් ආණ්ඩුව එකතු කර ගන්නා බදුවලින්ය. ජනතාවට සහන බෙදන අතරවාරයේදී ආණ්ඩුව මැති ඇමැති හා නිලධාරීන්ටද යහමින් බෙදාගනී. බිලියන ගණන් බදු සහන ඇති වාහන, අති විශාල පහසුකම් සහිත නිල නිවාස සහ විශාල වැටුප් වෙනුවෙන් වියදම් කරන්නේද රටේ බදු ආදායමයි. ජනතාවගෙන් බදු අය කරගත යුත්තේ බලහත්කාරයෙන් නොවේ. ඉන්දියාවේ දකුණු බිහාරයේ මගධ රාජ්‍යයේ විසූ කෞටිල්‍ය එවකට මයුරන් අධිරාජ්‍යයාට ආර්ථිකය සම්බන්ධව උපදෙස් දී ඇති බව ඉතිහාසයේ දැක්වෙයි. ජනතාවට නොදැනෙන්න මලකින් රොන් ගන්නා ක්‍රමයෙන් බව කියා තිබේ. අද ආණ්ඩු උපදෙස් ගන්නේ කෞටිල්‍යලාගෙන් නොවේ. කට්ට කයිරාටිකයන්ගෙනි. ජනතාවගෙන් බදු අය කරගෙන ආණ්ඩුව තර කළහොත් එයින් කොටසක් තමන්ට බව මෙම කපටි කයිවාරුකාරයෝ දනිති. ජනතාවට නොදැනෙන සේ නොව ජනතාවට එපා වන තරමට මිරිකා තළා බදු අය කරන්නේ එහෙයින්ය.

ආණ්ඩුව අලුතින් දේශීය ආදායම් පනත් කෙටුම්පතක් සකස් කළේය. මෙමඟින් මෙතෙක් පැවැති බදු ක්‍රම වෙනස් කර නව බදු ක්‍රමයක් හඳුන්වාදෙන එකකි. නව දේශීය ආදායම් පනත් කෙටුම්පත සම්මත කරගතහොත් වක්‍ර බදු අඩු වී සෘජු බදු වැඩි වනු ඇති බව ආණ්ඩුව පෙන්වා දුන්නේය. මෙම පනත සකස් කර අවුරුද්දකට ආසන්නය. 2017 වසරේ අය-වැය සැලසුම් කළේ මෙම නව දේශීය ආදායම් පනත අනුව රටේ ආදායම සකස් කරගැනීමේ අරමුණ ඇතිවය. නමුත් දිගින් දිගටම ප්‍රමාද වූ බදු පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශේ්‍රෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. පනත නැවත සංශෝධනය කර ඉදිරිපත් කරන බව ආණ්ඩුව දැනටමත් ප්‍රකාශ කර ඇත. නව ආදායම් පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනනුකූලයැයි සඳහන් කිරීම ප්‍රශ්නයක් නොවේ. පනත අවශ්‍ය පරිදි වෙනස් කර ඉදිරිපත් කරන්නට බාධාවක් නැත. පනත සම්පූර්ණයෙන්ම පැත්තකට කර අලුත් බදු පනවා රට ගෙනයන්නට ආණ්ඩුවට හැකිය. අර්බුදය ආණ්ඩුවට නොවේ. පොදු ජනතාවටය. පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළද නොකළ ද බදු ගෙවන ජනතාවට කිසිසේත් එයින් ගැලවීමක් නැත.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නව දේශීය ආදායම් පනත් කෙටුම්පතෙහි වගන්ති පහක් ව්‍යවස්ථාවට අනනුකූල බව ශේ්‍රෂ්ඨාධිකරණය කතානායක වෙත දන්වා තිබේ. එහි ඇති එක වගන්තියක් සෑහෙන දරුණු බව එම වගන්තිය සම්මත කරගන්නට නම් තුනෙන් දෙකක ඡන්දයෙන් පාර්ලිමේන්තු අනුමැතිය සහ ජනමත විචාරණයක් අවශ්‍ය බව සඳහන් කිරීමෙන් ඇඟවෙයි. පනත තාවකාලිකව ප්‍රමාද කිරීමෙන් ජනතාවට කෙටිකාලීන සහනයක් ලැබෙන නමුත් ජනතාවට සහනයක් ලැබෙන සේ පනත පරාජය කර බදු අඩු කරන්නට අධිකරණයට හැකියාවක් නැත.

බදු සම්බන්ධයෙන් ජනතාවට සහනයක් ලබාගත හැක්කේ කෙසේද? ආර්ථිකයක් ප්‍රසාරණය කර සහ නිතිපතා සක්‍රිය වන්නට ඉඩ හැර ආණ්ඩුවේ බදු ආදායම වැඩිකර ගැනීමට අන් මඟක් නැත. දියුණු රටවල් තම ආදායම නංවාගෙන ඇත්තේ වැසියන්ගේ ආදායමින් කොටසක් රාජ්‍ය භාරය ලෙස පවරා ගන්නට හැකිතාක් උපක්‍රම යෙදීමෙන් නොවේ. ආයෝජන වැඩිකර ගන්නා අතර විදේශ වෙළෙ¼දාම නංවනු සඳහා පියවර ගනියි. ආනයන සහ අපනයන නැංවෙන පසුබිම සකස් කළහොත් එයින් රටට ලැබෙන බදු ආදායම ඉහළ නඟී. එය මහජනතාවට කෙළින්ම නොදැනෙන ලෙස ආර්ථිකයේ ප්‍රසාරණයෙන් රජයේ ආදායම වැඩිපුර උපයා ගත හැකි මාර්ගයකි. අද ශ්‍රී ලංකාවේ කෙරෙන්නේ අත්‍යවශ්‍ය දේ මිලදී ගන්නා පාරිභෝගිකයන්ගේ ගනුදෙනුවලින් සෑහෙන යමක් බදු ලෙස උපයා ගැනීමය. එය ජනතාවගෙන් උදුරා ගැනීමක් වන අතර ආයෝජන වැඩිකර ආර්ථිකය නංවා ආදායම උපයා ගැනීම සාධාරණ ආණ්ඩුවක වගකීමකි.

ආණ්ඩුව ජනතාවගෙන් අයකරන බදු වර්ග සෑහෙන ප්‍රමාණයක් තිබේ. එයින් කොටසක් සෘජු බදු වන අතර තවත් කොටසක් වක්‍ර බදුය. නව ආදායම් පනත අනුව වසර තුනක් ඇතුළත වක්‍ර බදු අනුපාතය සියයට අසූවක සිට හැට දක්වා පහත දමන අතර සෘජු බදු අනුපාතය සියයට විස්සක සිට හතළිහ දක්වා නංවන්නට යෝජනා කර තිබිණි. මෙම යෝජනාවද සහිත සම්පූර්ණ ආදායම් පනත් කෙටුම්පත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වුවමනාවකි. රටට විනිමය ප්‍රශ්නයක් උද්ගත වූ අවස්ථාවේදී වත්මන් ආණ්ඩුව මූල්‍ය අරමුදලින් තාවකාලික ණය සංචිතයක් ලබාගත් අතර එය පියවන අතරතුර ඉදිරියේදී නැවතත් ණය ඉල්ලන්නේ නැතිව ක්‍රියා කරන්නට නම් ආදායම් වැඩි කරගත යුතු බව එහි විශේෂඥයෝ පෙන්වා දුන්හ. එයට ගැළපෙන ලෙස මෙරට උපදේශකයෝ නව ආදායම් පනත හැදූ අතර එය කොපමණ අදූරදර්ශී සහ ව්‍යවස්ථා විරෝධී එකක්දැයි ශේ්‍රෂ්ඨාධිකරණ තීන්දුව මැනවින් තහවුරු කරයි.

සෘජු බදු යනු බදු ගෙවන බව ජනතාව දැන ගෙවන ඒවාය. වක්‍ර බදුවලදී තමන් බදු ගෙවන බව ජනතාව දන්නේ නැත. සීනි කිලෝවකින් රුපියල් තිහක් අය කරන බව දුප්පත් ජනතාව දන්නේ නැත. ආනයනික ලූනුවලින් රුපියල් තිස් පහක්, ආනයනික අර්තාපල්වලින් රුපියල් තිස් පහක් හා ආනයනික එළවළු තෙල්වලින් කිලෝවකට රුපියල් එකසිය තිස් පහක් ආදී වශයෙන් අය කරන ප්‍රමාණය අති විශාල ලේඛනයකි. මෙම බදු අයකරන්නේ ජනතාවට සහන දෙන බව කියන ආණ්ඩුවකි. ආදායම් බදු ගෙවිය යුතු මහා ධනවතුන්ට බදු වරප්‍රසාද දෙන ආණ්ඩුව දුප්පත් ජනතාවගෙන් වක්‍ර බදු පනවා තමන්ගේ ආදායම තරකර ගනී. අක්‍රමවත් මූල්‍ය පාලනය හෙයින් මෙයින් කොටසක් සුඛෝපභෝගී ජීවිතයට වියදම් කරන බව ජනතාව නොදනිති.

1995 වසරේදී රටට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 20.4ක බදු ආදායමක් උපයා ගත හැකි විය. 2015 වන විට ආණ්ඩුවේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 10.85 දක්වා පහතට වැටී තිබේ. එම බදු ප්‍රතිශතය සියයට 15-16 අතර ගණනක් දක්වා වැඩි කරගන්නට දැන් වුවමනා වී ඇත. ආණ්ඩුව අත තියන්නට හදන්නේ ජනතාවගේ පැත්තටය. මෙම බදු ආදායම් ඉලක්කය ලබා ගන්නටය. 2017 අය-වැය යෝජනා කළ පරිදි නව බදු පනත සම්මත කිරීමෙන් පසු ප්‍රාග්ධන බද්ද වශයෙන් රුපියල් බිලියන පහක්, සුපිරි ආදායම් වශයෙන් රුපියල් බිලියන තිස් දෙකක්, රැඳවුම් බද්ද වශයෙන් රුපියල් බිලියන විසි හයක් සහ උපයන විට ගෙවීම් වශයෙන් රුපියල් බිලියන විසි පහක් එකතු කරගැනීමට යෝජනා කර තිබිණි. ඒවා සෘජු බදු බව බැලූ බැල්මට පෙනේ. නමුත් අන්තිමේදී මෙම බදු ගෙවන්නේද සමාගම් හිමිකරුවන් හෝ කොටස් හිමියන් නොවේ. ඒවායෙන් භාණ්ඩ හා සේවා මිලදී ගන්නා දුප්පත් ජනතාවය. වරද ඇත්තේ එතැනය. නව ආදායම් පනත් සකස් කරන විට ජනතාවගේ සෘජු හෝ වක්‍ර බදු උපයාගෙන ආණ්ඩුවේ පණනල ගැට ගසා ගැනීම වෙනුවට අලුත් දේ ගැන සිතා අලුත් ආයෝජන නිර්මාණය කර ආදායම් වක්‍රව නංවා ගැනීම වැදගත්ය.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව දක්වන පරිදි මෙරට ජාතික ආදායමෙන් සියයට 13.8ක් බෙදී යන්නේ රටේ දුප්පත්ම සියයට හතළිහක පිරිස අතරය. මැද පන්තියේ සියයට හතළිහක ජන කොටසක් අතර රටේ ජාතික ආදායමෙන් සියයට 32.5ක් බෙදී යයි. පොහොසත්ම සියයට විස්සක ජන කොටසක් අතර රටේ ජාතික ආදායමෙන් සියයට 53.7ක් බෙදී යන බව දැක්වෙයි. පොහොසත්ම සියයට විස්සක පිරිස සතු ධනය උදුරාගෙන ජාතික ආදායම සම්පූර්ණ කරගැනීම සුදුසු නැත. මෙම පිරිසට තමන් සතු ආදායම අලුත් කර්මාන්ත හා ව්‍යාපාරවල යොදවන්නට ඉඩ දිය යුතුය. එයට පහසුකම් ලැබෙන විට රටේ ව්‍යවසාය පද්ධතියක් හැදෙන අතර ඒවායෙන් අලුතින් බදු උපයා ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබේ. රටේ ආර්ථිකය සක්‍රිය වෙන්නේ එවිට බව තේරුම් ගැනීම බලධාරීන්ගේ වගකීමකි.

නව දේශීය ආදායම් පනත් කෙටුම්පත ශේ‍ර්ෂ්ඨාධිකරණය පරාජය කරන විට එයට අලුත් වාක්‍ය එකතු කර ජනතාවගේ අත ඇති මුදල කෙසේ හෝ උපයා ගැනීමට තැත් කිරීමට වෙර දැරීම ජනතා ආණ්ඩුවක ස්වභාවය නොවේ. පරිවර්තනයක් කරන්නේ කෙසේදැයි අවධානය යොමු කිරීම එයට වඩා වැදගත්ය.

ශාමින්ද වත්තේගෙදර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්