Mister Clean කුණු ගා ගෙනද? මඩ නා ගෙනද?

  👤  3557 readers have read this article !
By mawbima 2017-08-13

කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රථම වරට පන්ති තහනමට ලක්වූ ශිෂ්‍යයන් තිදෙනකු සිටියේය. ඒ එක් දහස් නවසිය තිහේ දශකයේදීය. ඔවුන් තිදෙනාම දැඩි වාමාංශික මත දරන්නෝ වූහ. එක් අයෙක් එස්මන්ඩ් වික්‍රමසිංහ වූ අතර අනෙක් දෙදෙනා එන්. ෂන්මුගදාසන් සහ පී. සරවනමුත්තු යන දෙමළ ජාතිකයෝය. පසුකලෙක එස්මන්ඩ් දකුණට ගමන් කළ අතර අනෙක් දෙදෙනා වමේ නායකයෝ වූහ. එස්මන්ඩ්ගෙ පුතා රනිල්ද ගියේ දකුණටය.

දකුණට ගිය රනිල්ට අගමැති පුටුවට එන්නට දශක තුනකට ආසන්න කාලයක් ගත වූයේය. 2002දී අගමැති පුටුවේ වාඩි වුවත් වැඩිකලක් රඳන්නට වරම් නොලැබුණි. එකල රනිල් ගැන ජනතාව කතා වුණේ අවාසනාව නළලේ කොටා ගෙන පැමිණි නායකයකු ලෙසය. එජාපය රජ කරවන්නට රනිල් පණ මදි යැයි කීවේද එජාප පාක්ෂිකයන්මය.
රනිල් විපක්ෂ නායක පුටුවේ සිය දේශපාලන ජීවිතයෙන් වැඩි කාලය ගෙවා දැමුවේය. පණ නැති බවට හංවඩු ගැසූ රනිල් 2015දී හරියටම කල්යල් බලා ටක්කෙටම ඇණය ගසා මහින්ද රාජපක්ෂගේ යාවජීව ආණ්ඩුව පෙරළා දැම්මේය. ඔහුට වැඩ පෙන්වන්නට වරම් ලැබෙන විට දේශපාලන ජීවිතයෙන් අවුරුදු 40ක්ම ගෙවී අවසන්ව තිබිණි. එහෙත් එම කාලය තුළ රනිල් විසින් උපයාගත් සුවිශේෂී ධනයක් තිබිණි. ඒ ධනය අන් කිසිවක් නොව රනිල් දූෂිතයෙක් හොරෙක් නොව සුපිරිසුදු දේශපාලනඥයෙක්ය යන ජනතා විශ්වාසයය.

රජ කරවන්නට කුමාරවරුන් නැති රනිල් මහජන දේපොළවලට අත නොතබනු ඇතැයි පක්ෂ විපක්ෂ රටේ පුරවැසියන් දෙකොටස අතරම විශ්වාසයක් තහවුරු කරවන්නට රනිල් සමත් විය. සමාජය ඔහුට 'ර්ඪඵබඥප ඛ්තඥචද' යන විරුදාවලිය දුන්නේය. මාධ්‍ය මිස්ටර් ක්ලීන් යනුවෙන් ඔහු හඳුන්වන්නටද පසුබට නොවීය. එහෙත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් ඔහුත් එක්ව බිහි කළ යහපාලන ආණ්ඩුවේ රන් කිරි කට ගාන්නත් පෙර සිදුවූ මහ බැංකු බැඳුම්කර මංකොල්ලය සියල්ල උඩුකුරු යටිකුරු කර දැමීය. ලංකාවේ එතෙක් මෙතෙක් සිදුවූ විශාලතම මූල්‍ය වංචාව වූ එය අගමැතිවරයාට මඟහැර යා නොහැකි මර උගුලක් බවට පත්ව තිබේ.

අර්ජුන් මහේන්ද්‍රන් නමැති අගමැති රනිල් වික්‍රමසිංහගේ සිංගප්පූරු මිතුරා ලංකාවට වැඩම්මුවේ රනිල්ගේ පූර්ව සැලසුමක් මත නොවේ යැයි තහවුරු කරන්නට කිසිදු ඉඩක් නැත. ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ මර්මස්ථානය වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල් පුටුවේ ශ්‍රී ලාංකිකයකු වාඩි කරවන්නට යහපාලනය අපොහොසත් විය. අවසානයේ එහි වාඩි වූයේ අර්ජුන් මහේන්ද්‍රන් නමැති සිංගප්පූරු පුරවැසියාය. රනිල් මහ බැංකුවේ මුල් පුටුවේ ඔහු වාඩි කළේ මුදල් ඇමැති පුටුවේ රවි කරුණානායක වාඩි කරවීමෙන් පසුවය.

දැනට හෙළිවෙමින් තිබෙන කරුණු අනුව අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවට ඇතුළු වූ තැන් සිට ක්‍රියා කර තිබෙන්නේ අවිචාරශීලීවය. අර්ජුන් ඔහුගේ බෑනා වූ ඇලෝසියස් සහ මුදල් ඇමැතිවරයා ඇතුළු තුන් කට්ටුව එක්ව 2015 පෙබරවාරි 27 සිදු කළ මහා මූල්‍ය වංචාවේ අලගිය මුලගිය තැන් මේ වනවිට එකින් එක ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ හෙළි වෙමින් තිබේ. අර්ජුන් මහේන්ද්‍රන්ට සහ ඔහුගේ බෑනා ඇලෝසියස්ට ජනවාරි 8 වැනිදා රටේ සිදුවූ වෙනස අදාළ නැතුවාක් මෙන්ම කිසිදු ආකාරයක වැදගත්කමක්ද දැනී නැති සේය. ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතා පරාජය වී නම් මහින්ද රාජපක්ෂ රෙජීමය සමඟ ඉතා හොඳ සබඳතා තිබූ පර්පචුවල් සමාගමටද ඉදිරියට යෑමට බාධාවක් වන්නේද නැත. එහෙත් 8 වැනිදා වෙනස සාක්ෂාත් කරවන්නට කැපවූ රනිල්ටත්, රවිටත් දෙවරක් සිතන්නට තිබිණි. ඔවුන් එසේ සිතා ඇත්දැයි යන්න ප්‍රශ්නකාරිය.

බැඳුම්කර මංකොල්ලයෙන් විනාඩි කිහිපයක් තුළ රටට සිදු වූ පාඩුව බිලියන 1.7කි. තවත් අවුරුදු 30ක් ලංකාව මේ පවට කර ගැසිය යුතුය. සේවක අර්ථසාධක අරමුදලට අත තියනවාට විරුද්ධව එදා රොෂේන් චානක දිවි පිදුවේය. බැඳුම්කර මංකොල්ලයෙන් ඡ්ර්ථීජ් එකට සිදුවූ පාඩුව බිලියන 12.5කි. එය එසේ වූ බව දැන දැනත් අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති තනතුරින් ඉවත් කරන්නට රනිල් ක්‍රියා කළේ නැත. දෑත් පිරිසුදු කරගන්නට තිබූ ප්‍රථම අවස්ථාව රනිල් අත්හළේය. බැඳුම්කර වෙන්දේසියේ කිසිදු මූල්‍ය අපරාධයක් සිදුව නැති බව රනිල් කීවේය. තත්ත්වය උණුසුම් වනවිට රනිල් කළේ එ.ජා.ප.යට සම්බන්ධ නීතිය පිළිබඳව දැනුමැති තිදෙනකුගේ කමිටුවකට සොරුන් ඇල්ලීම භාර කිරීමය. ඔවුන් මූල්‍ය කටයුතු විමර්ශනයෙහි සුදුසුකම් ඇත්තවුන් නොවේ. ඔවුන්ට පැවරී තිබුණේ බළල් වසුරු වැලි දමා වැසීම වැනි කටයුත්තකි.

රනිල් වික්‍රමසිංහ තවදුරටත් උත්සාහ කළේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරයේ තබා ගන්නටය. අර්ජුන් එළවා දමා ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහ බැංකු අධිපති පුටුවේ වාඩි කරවූවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසිනි. රනිල් වික්‍රමසිංහ කළේ ජනාධිපතිවරයාගේ තීරණයට අතුල් පහරක් දෙමින් අර්ජුන් මහේන්ද්‍රන් සිය උපදේශකයකු වශයෙන් පත්කර ගැනීමය. ඔහු ඉවත් කරන්නට රනිල්ට වුවමනාවක් තිබුණේ නැත.

මේ අතර මුදල් ඇමැති රවි කරුණානායක කළේ මහ බැංකු වංචාවට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති වගකිවයුතු බව ප්‍රකාශ කිරීමය. කෙසේ වුවද විපක්ෂ දේශපාලන පක්ෂ ප්‍රශ්නය යහපාලන ආණ්ඩුවට එල්ල කළ පාරා වළල්ලක් බවට පත් කළේය. ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ පොදු ව්‍යවසාය කාරක සභාවට යොමු වූයේ එයින් පසුවය. එපමණක් නොව බැඳුම්කර වංචාව සම්බන්ධව පාර්ලිමේන්තු පොදු ව්‍යවසාය කාරක සභාව ඩි.ව්. ගුණසේකර සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ ආරම්භ කළ වහාම ආණ්ඩුව විසුරුවා හැරිණි. නව ආණ්ඩුව බිහිවීමත් සමඟ ජ.වි.පෙ. මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ කෝප් කමිටුව විමර්ශන ආරම්භ කරන විට සිටි කෙනකු ඉවත් කර රනිල් සුජීව සේනසිංහ රාජ්‍ය ඇමැතිවරයා ඊට ඇතුළු කළේය. එජාප කණ්ඩායම කෝප් කමිටුව තුළ හොරගල් අහුලමින් පසුවූ හැටි රටම දුටුවේය. දීර්ඝ විමර්ශනයකින් පසු කෝප් කමිටු වාර්තාව නිකුත් කළ අතර එම වාර්තාවේ සැර බාල කරන අටියෙන් එජාප කමිටු සාමාජිකයන් ඊට පාද සටහන් එක් කළේය. මාධ්‍ය ඔවුන් හැඳින්වූවේ 'ජ්ධධබ දධබඥ' කල්ලිය වශයෙනි. ඔවුන් අනියම් වශයෙන් පෙනී සිටියේ අර්ජුන් ඇලෝසියස් වෙනුවෙනි.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරයකු වූ සී.බී. රත්නායක ප්‍රකාශ කර තිබුණේ කෝප් වාර්තාවට පාද සටහන් දැමූ කණ්ඩායම කෝප් කමිටුව පැවැති දිනවල කොළඹ - 03 නිවෙසකදී රහසිගතව අර්ජුන් මාමා සහ ඇලෝසියස් බෑනා හමුවී සාකච්ඡා පවත්වා තිබෙන බවය. අවසානයේ බැඳුම්කර වංචාව ගැන මාධ්‍ය හමු තියන්නටත් පොත් ලියන්නටත් ඉදිරියට ආවේ මේ කණ්ඩායමය.

ජනාධිපති විමර්ශන කමිටුව පත් කිරීම මේ සම්බන්ධ ක්‍රියාවලියේදී ජනාධිපතිවරයා ගත් ඉතාම වැදගත් පියවර විය. කෝප් විමර්ශනයේදී ආර්ථික ඝාතකයන් විසින් සඟවා ගත් බොහෝදේ ජනාධිපති කොමිසමේදී එළියට ආවේය. වැදගත්ම කාරණාව වූයේ අර්ජුන් ඇලෝසියස් මුදල් ඇමැති රවි කරුණානායක පවුල සඳහා රු. ලක්ෂ 111කට කොළඹ නගරයේ මොනාක් නිවාස සංකීර්ණයේ ඇති සුපිරි මහල් නිවාසයක් බද්දට ලබා දීමය. නිවෙසේ හිමිකාරිය ඉතා වගකීමෙන් මෙම ගනුදෙනුව හෙළි කිරීම තුළ මුදල් ඇමැතිගේ කැරැට්ටුව එළියට ආවේය.

ඉකුත් සතියේ රවි කරුණානායක ඇමැතිවරයාගේ දුව ඔනෙලා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණේ ආණ්ඩුවේ පිරිසක් සිය පියා වැරැදිකරු කරමින් වැරැදි වසා ගැනීමේ උත්සාහයක නිරතව සිටින බවය. මේ සියලු දෙය තනි මිනිහෙකුට කළ නොහැකි බව ඔනෙලා සඳහන් කර ඇත. කෙසේ වුවද විපක්ෂයේ දේශපාලන පක්ෂ කියා සිටින්නේ මේ වංචාව සම්බන්ධ සාකච්ඡා සඳහා සහභාගි වූ අනෙක් පුද්ගලයන් සම්බන්ධවද විමර්ශන පුළුල් කළ යුතු බවයි. කෙසේ වුවද මෙම සුදු කරපටි අපරාධකාරයන් තවමත් සිටින්නේ රාජ්‍යයේ ඉහළම වගකීම් දරමින්ය. වෙනසකට වූයේ මුදල් ඇමැති ලොතරැයි මණ්ඩලය සමඟින් විදේශ ඇමැති වීම පමණි.

රටේ නීතිගරුක පුරවැසියන් දූෂණය පිටු දකින බව සත්‍යයකි. බැඳුම්කර වංචාව මාමාගේ සහ බෑනාගේ ඥාතීත්වය මත සිදු කෙරුණු හොරකමකට ලඝු කළ යුතු නැත. මේ වූ කලී දේශපාලන බලය සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය උපයා ගැනීම උදෙසා ඉහළ පෙළේ පුද්ගලයන් ජාතික ධනය සොරා කෑමකි. රටට පෙනෙන අන්දමට කවර වෙස් මුහුණු බැන්දත් එකම පන්තියකට අයත් ජාවාරම්කාරයෝ තමන්ගේ ආරක්ෂාව සඳහා සූක්ෂ්ම අයුරින් මං පෙත් සලසා ගන්නා බව අමුතුවෙන් කිවයුතු නැත. දැන් වගකීම තිබෙන්නේ ජනාධිපතිවරයා අතය. දූෂිතයන් අතුගා දැමීම සඳහා ක්‍රියා කිරීමෙන් ජනාධිපතිවරයා ස්වකීය පාරිශුද්ධභාවය නැවතත් සහතික කළ යුතුය.

බැඳුම්කර වංචාව හේතුවෙන් මාස තුනකදී රජයට සිදුවූ පාඩුව රුපියල් බිලියන 59ක් යැයි ඇස්තමේන්තු ගතකර තිබේ. ඒ අනුව පෙනී යන්නේ මේ මුදල මත්තල ගුවන්තොටුපොළ සඳහා වැය වූ බිලියන 27ට වඩා දෙගුණයක පාඩුවක් රටට සිදුව තිබෙන බවය. ශ්‍රී ලංකාව අධ්‍යාපනය සඳහා වසරකට වැය කරන මුදල බිලියන 57ක් බව කල්පනා කරනවිට රටට අහිමි වන මුදලේ බරපතළකම පැහැදිලි වේ. තවත් පැත්තකින් පෙන්වා දෙනවා නම් මේ මුදලින් හම්බන්තොට වරාය වැනි වරායක් ඉදිකර තවත් බිලියන 5ක් ඉතිරි කරගත හැකිය. ශ්‍රී ලංකාව වැනි ආර්ථික දුෂ්කරතාවලින් හා ණය බරින් පීඩා විඳින රටකට බැඳුම්කර වංචාව නිසා සිදු වූ හානිය සමාන කළ හැක්කේ දෙවැනි ලෝක යුද සමයේ හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බය හෙළීමෙන් ජපානය පත්වූ අභාග්‍යසම්පන්න තත්ත්වයටය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon