යහපාලනය ගෙන ආ සිවිල් සංවිධාන 15දා සත්‍යග්‍රහ කරන්නේ ඇයි?

  👤  3502 readers have read this article !
By mawbima 2017-08-13

වර්තමාන යහපාලන ආණ්ඩුව පිහිටුවා අගෝස්තු 17 වැනි දිනට වසර දෙකක් සපිරේ. ඒ සඳහා පුරවැසි බලය සංවිධානය, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සහ සිවිල් සංවිධාන එකමුතුව දක්වන ලද කැපවීම ඉතා විශාලය. කෙසේ වුවද නැවත ඔවුන්ම තමන් පිහිටුවීමට උරදුන් යහපාලන ආණ්ඩුව විවේචනය කරමින් එළැඹෙන අගෝස්තු 15 වැනි දින කොළඹ විහාර මහාදේවි උද්‍යානයේදී සවස 3.00 සිට මහා සත්‍යග්‍රහයක් පැවැත්වීමට සූදානම් වේ. ඒ සඳහා මූලිකත්වයක් ගෙන කටයුතු කළ ක්‍රියාකාරීන් අතරින් තිදෙනකු වන ගාමිණී වියන්ගොඩ, සමන් රත්නප්‍රිය සහ සුනන්ද දේශප්‍රියගෙන් 'මව්බිම' කළ විමසුමකි මේ.

යහපාලනය ගෙනෙන්න මූලික වූ අය ඇයි මේ පාරට බනින්නේ?

වියන්ගොඩ - ඇත්තටම මෙහෙම කරන්න තීරණය කළේ අපි බලාපොරොත්තු වූ සමහර දේවල් ඉෂ්ට නොවූ නිසා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒම, බලය බෙදා හැරීම, දූෂිතයන්, හොරු, අපරාධකරුවන් නීතිය ඉදිරියට රැගෙන ඇවිත් දඬුවම් කිරීම, දමිළ ජනතාවගේ සංහිඳියාවට අවශ්‍ය දේ කළමනාකරණය නොකිරීම ඇතුළු කරුණු රැසක් තවම ඉෂ්ට වෙලා නැහැ.

රත්නප්‍රිය - අපි යහපාලනය ගෙනෙන්න මූලික වුණා. ඒ අවස්ථාවේ අපි ජනපති හා අගමැති එක්ක සම්මුතියක් අස්සන් කළා. ඒ සම්මුතියට අනුව ක්‍රියාත්මක වූ ඒවා තිබෙනවා. නොවූ ඒවා තිබෙනවා. ඒ අතරින් ක්‍රියාත්මක නොවූ ඒවා වැඩියි. ඒ හින්දා අපට සෑහීමකට පත්වෙන්න බැහැ. ඒ සඳහා බල කරන්න තමයි අපි පාරට බහින්නේ.
සුනන්ද - යහපාලනය ගෙනාවෙ ජනතාව පාරට බැහැලා. මේ බව රජය දැනගන්න ඕනෙ. එදා ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන්නෙ නැත්නම් ඒ සඳහා ජනතාවට හඬක් ලබා දීමට එදා වගේම අදත් අපි පාරට බහිනවා.

ඔබලාගේ වේදිකාවේ ප්‍රධාන මාතෘකා බවට පත්වූ ඇවන්ගාර්ඩ් සිද්ධිය, තාජුඩීන් ඝාතනය, මහජන මුදල් අවභාවිතය ආදිය අද යටපත් වෙලා නේද?

වියන්ගොඩ - ඔව්. ඇත්තෙන්ම ඒවා අවසානයකට පත්වෙලා නැහැ. එය අපේ අප්‍රසාදයට හේතුවක්. මේ රජය කළ හොඳ ගැනත් අපි සඳහන් කළ යුතුයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම, ජනපති බලතල යම් තරමකට අඩු කිරීම, දමිළ ජනතාවට යම් ඉඩම් ප්‍රමාණයක් නැවත ලබාදීම ආදිය අපි අගය කරනවා. ඒවා පසුගිය රජය යටතේ අපට බලාපොරොත්තු තියාගත හැකි වූ දේවල් නෙමෙයි.

රත්නප්‍රිය - ඉතා පැහැදිලිවම දූෂණ, වංචා යටපත් වෙලා. නමුත් කලින් රජයට වගේ යහපාලනයක් යටතේ හිතුමනාපේ වැඩ කරන්න බැහැ. ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ගවලට කල් ගත වෙනවා. අපි කිව්වා මේ සඳහා විශේෂ අධිකරණ කීපයක් ස්ථාපිත කරන්න කියලා. ඒත් ඒවා සිද්ධ වෙලා නැහැ.

සුනන්ද - මං හිතන්නෙ ඒ අතරින් තාජුඩීන් ඝාතනය සම්බන්ධව පමණයි ටිකක් හරි ඉදිරියට ගිහින් තියෙන්නේ. මුදල් අවභාවිතය අදටත් සිදුවෙනවා. ආණ්ඩුව මූලික වෙනස්වීම් කීපයක් කළා. ඒත් මහජන අපේක්ෂාවන් වෙනුවෙන් ඒවා ප්‍රමාණවත් නැහැ. ඉටු වූ දේට වඩා ඉටු නොවූ දේ වැඩියි.

ආණ්ඩුවේ දින 100 කාලය තුළදීම ඔබ ඇමැතිවරුන් කීපදෙනකුට විරුද්ධව ඇඟිල්ල දික් කළා. ඒ වුණාට යහපත් ප්‍රතිචාර ලැබුණෙ නැහැ නේද?

වියන්ගොඩ - ඒක ඇත්ත. දූෂිත ඇමැතිවරු ඉවත් කළ යුතුයි කියන එක අපි කාලයක් තිස්සෙ කරන ඉල්ලීමක්. මේ වන තෙක් එය සිදුවෙලා නැහැ.
රත්නප්‍රිය - එක වතාවක් තිලක් මාරපන ඇමැතිවරයාට ඉල්ලා අස්වෙන්න සිද්ධ වුණා. ඇතැම් ප්‍රතිඵල තිබෙනවා. ඒත් සෑහීමකට පත්වෙන්න බැහැ.
සුනන්ද - යම් යම් ප්‍රතිචාර ලැබුණා. ඒත් මේ ආණ්ඩුවත් දූෂණය, භීෂණය සඳහා පියවර ගන්නෙ ඉබි ගමනින්. මේ තත්ත්වය වෙනස් නොකළොත් එදා රජයට වගේ මේ රජයටත් ජනතා තීන්දුවට මුහුණ දෙන්න සිදු වේවි.
හොරු! හොරු! කිව්වට හොරු ඇල්ලුවෙ නැහැනෙ.
වියන්ගොඩ - හොරු, හොරු කියමින් බලයට ආවා නම් හොරු අල්ලන්න ඕනේ. ජනපති පත් වෙලා අවුරුදු 2 1/2 යි. යහපාලන ආණ්ඩුවට අවුරුදු 2 යි. ඒත් තවම එය සිදුවෙලා නැහැ.

රත්නප්‍රිය - ඒක බරපතළ ප්‍රශ්නයක්. මහ බැංකු සිද්ධියට සම්බන්ධව රජයේ ඇමැතිවරුන්ට චෝදනා එල්ල වී තිබෙනවා. වරදකරුවෙක් නම් ඔහුට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි. ඒත් ඒ ගැන තියෙන උන්නදුව රාජපක්ෂ ආණ්ඩුව කාලෙ සිදු වූ වැරදි, ඝාතන, දූෂණ හොයන්න නැති බවකුයි පෙනෙන්න තිබෙන්නේ.
සුනන්ද - හොරු ඇල්ලිල්ල කෙසේ වෙතත් අද හොරු වැඩි වෙලා. පොලිසිය පැත්තෙන් මේ සඳහා පියවර ගන්නා බවක් පෙනෙන්නට තිබෙනවා. ඒත් ආණ්ඩුව පැත්තෙන් පියවර ගැනීමට පසුබෑමක් තිබෙන බවකුයි පෙනෙන්නට තිබෙන්නේ.

බැඳුම්කර සිද්ධිය ගැන ඔබලා නිහඬ ඇයි?

වියන්ගොඩ - අපි නිහඬ නැහැ. අපේ විරෝධතාව තුළින් ඉල්ලන එක ඉල්ලීමක් තමයි ඒක. මේකට වරදකරුවන්ට දඬුවම් දීලා විතරක් මදි. කොල්ලකෑ මහජන මුදල් නැවත අත්පත් කර ගැනීමටත් කටයුතු කළ යුතුයි.

රත්නප්‍රිය - කිසිසේත්ම නැහැ. අපි තමයි ඒ සඳහා වැඩිපුරම බලකිරීම් කළේ. මහජන සම්මන්ත්‍රණ තිබ්බේ. අපේ බලපෑම් නිසා තමයි මේ සිද්ධිය තීරණාත්මක තැනට ආවේ.
සුනන්ද - අපි මුල ඉඳන්ම ඒ ගැන කතා කරලා තියෙනවා. ඒ ගැන විතරක් නෙමෙයි මේ ආණ්ඩුව යටතේ සිදුවූ බොහෝ දූෂණ ගැන අපි හඬ නඟලා තිබෙනවා. ඒ ගැන නිසි පියවර ගත යුතුයි.

ජනවාරි 8 වැනිදා ඔබට දුන් පොරොන්දු ඉටු වෙලාද? කඩ වෙලාද?

වියන්ගොඩ - සමහර පොරොන්දු ඉටුවෙලා තිබෙනවා. සමහර පොරොන්දු ඉටු වෙලා නැහැ.
රත්නප්‍රිය - කොටසක් ඉටුවෙලා තිබෙනවා. නමුත් දීපු පොරොන්දුවලින් විශාල ප්‍රමාණයක් තිබෙනවා ඉටු කරන්න. ඒවා ඉටු නොකිරීම ගැන බරපතළ විවේචනයක් අපට තිබෙනවා.

සුනන්ද - යම් තරමකට ඉටුවෙලා තිබෙනවා. දූෂණය හා භීෂණයට එරෙහිව පියවර ගැනීමක් සිදුවෙලා නැහැ. ජනතාවගෙ ආර්ථික දියුණුව සඳහා යමක් සිදුවී නැහැ. ශිෂ්ටාචාරය කරා සමාජය රැගෙන යන්න පියවර අරගෙන නැහැ. අඩු තරමින් දේශපාලනඥයොවත් ආදර්ශවත් වෙලා නැහැ.

මේ යහපාලනය ගැන ඔබට සතුටුයිද දැන්?

වියන්ගොඩ - ඇත්ත වශයෙන්ම මං සාපේක්ෂව පිළිතුරු දෙන්නෙ "ඔව්" කියලා. මං එය සංසන්දනය කරනවා. මහින්ද රාජපක්ෂ පාලනයත් එක්ක.
රත්නප්‍රිය - ඇත්තටම යම් සතුටක් තිබෙනවා. ඒ වගේම කනගාටුවකුත් තිබෙනවා. සතුටුදායක තත්ත්වය වැඩි කරගන්න තමයි අපි උත්සාහ කරන්නේ. ආණ්ඩුවේ ප්‍රතිචාර ඒ සඳහා යහපත් තැන්නම් ආණ්ඩුව හරිමඟට ගැනීමට ජනතාව සමඟ එක්වෙලා අපි බලපෑම් කරනවා.

සුනන්ද - වෙනස ගැන සතුටුයි. මේ පාලනය ගැන නිශ්චිත තීරණයක් ගැනීමට තවම කල් මදියි. මේ තත්ත්වය තවත් මාස කීපයක් ඉදිරියට ගියොත් රජයට ඒ ගැන බරපතළ විදිහට හිතන්න සිද්ධ වේවි.

ගැමුණු රත්නායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon