ඔළුවිල් ගම ඔළුවෙන් හිටවපු පුංචි පැටියගෙ කාර් මරණය

  👤  3509 readers have read this article !
By mawbima 2017-08-13

අම්පාර අක්කරපත්තු ඔළුවිල් අංක 06 ප්‍රදේශයේ 536 අන්සාර් පල්ලිය පාරේ පදිංචිවෙලා හිටිය අයි.එල්. ලාපර් ජීවත් වුණේ පෙදරේරු රස්සාවෙන්. ඔහුට දරුවන් දෙදෙනෙක් හිටියා. පොඩි දරුවා මොහොමඩ් ඉන්සාර්. මෙම පුංචි දරුවාගේ වයස අවුරුදු පහයි මාස හයයි. ඉගෙන ගත්තේ ඔළුවිල් අල් ජයිසා විද්‍යාලයේ එක වසරේ. පුංචි දරු පැටියා කුඩා කල වාහනවලට ඇල්මක් දැක්වූවා. මෙම දරුවාගේ පියා පෙදරේරුවෙක් නිසා නිතර දෙවේලේ නිවෙසේ රැඳෙන්නේ නැහැ. උදේ ගියාම ආපහු එන්නේ හවස් වෙලයි.
එදා සියලු දෙනාම අඬවන දිනයක් කියලා කවුරුත් හිතුවේ නැහැ. පුංචි ඉන්සාර් තමන්ගේ පුංචි පාපැදියේ නැඟ ගේ වටේ එය පදිමින් සිටියා. අන්තිමේදී පුංචි ඉන්සාර් පාපැදි පොඩියේ නැඟලා පාර පැත්තට ආවා. එතකොට වෙලාව දවල් එකහමාරට විතර ඇති. අන්සාර්ලා ඉන්න නිවෙසට මීටර් 80ක් විතර දුරකින් පාර අසල කාරයක් නතර කරලා තියෙනවා.

ඒ ඔළුවිල් විශ්වවිද්‍යාලයක විනය පාලක ලෙස කටයුතු කරමින් ඉන්න බුහාරි මහත්තයාගේ කාර් එක. ඔහු පාරේ කාරය නතර කරලා නිවෙසට ගිහිල්ලා හිටියේ. මේ පුංචි දරු පැටියා බයිසිකලේ පැත්තකට දාලා හිමින් සැරේ කාර් එක ළඟට ගියා. අහල පහළ කවුරුත් නැහැ. පුංචි එකා හීන් සැරේ කාරය අසලට ගොස් එය අතපත ගාන්නට වුණා. ඒ කාරයේ ලස්සනට පොඩ්ඩා වශී වුණා. ඒ ඉන්න ගමන් ‍ෙදාර අගුලෙන් ඇද්දා. ‍ෙදාර ඇරුණා. ඒ ‍ෙදාර අගුල දාන්නේ නැතිව තිබිච්ච නිසා. පොඩි දරු පැටියා හීන්සැරේ කාරයට රිංගුවා. කවුරුවත් දැක්කේ නැහැ. හතර වටෙන්ම ගෙවල් කිහිපයක් තිබුණත් ඒවායේ වටේම තාප්ප බැඳලා. ඒ නිසා කාටවත් පාර පෙනුණේ නැහැ. පාරේ කවුරුත් හිටියෙත් නැහැ. කාරය නතර කරලා තියෙන තැනට ටිකක් දුරකින් කඩයක් තිබ්බත් ඒකත් මාස ගණනක් තිස්සේ වහලා. අන්සාර්ගේ අම්මා සවස දෙකහමාරට විතර දරුවා නැති නිසා හොයන්න ගත්තා. ඒත් දරුවා හිටියේ නැහැ. එළියේ අය එහෙම හොයද්දී මේ දරුවා කාරෙකේ ඉඳන් හුස්ම ගන්න දඟල දඟල හිටියා.

බුහාරි මහත්තයා හැන්දෑවේ පහමාරට විතර ගමනක් යන්න කියලා හිතාගෙන කාරයට ගොඩවුණා. කාරයට ගොඩවෙද්දී දුටු දෙයින් ඔහු තුෂ්ණීම්භූත වුණා. රියේ ඉදිරිපස අසුනට යාබද අසුන අසල දරවකු වැටිලා හිටියා. මේ පොඩි දරුවා අසල ගෙදරක දරුවකු බව ඔහු හඳුනා ගත්තා. කිහිප විටක් කතා කළත් කිසිම ප්‍රතිචාරයක් නැහැ. බුහාරි මහත්තයා අහල පහළ අයත් එකතු කරන් ඉක්මනින් මේ දරුවා අක්කරපත්තුව රෝහලට අරන් ගියා.

අක්කරපත්තුව රෝහලේ වෛද්‍යවරු ලහිලහියේ මේ පුංචි දරුවා වටකර ගෙන පරීක්‍ෂා කළා.

"මේ දරුවා මිය ගිහින්" වෛද්‍යවරයා පවසද්දී සියලු දෙනාම මවිතයට පත් වුණා. කොහොමද මේ දරුවා කාර් එක ඇතුළේ මිය ගියේ කියලා කාටවත් හිතාගන්න බැරිවුණා. හුස්ම ගන්න බැරිවෙලා මැරුණද? එහෙම නැත්නම් මේ දරුවා කවුරු හරි මොනවා හරි දේකට මරලා දැම්මාද කියලා එක එක කතාවල් කට්ටිය කියන්න ගත්තා. අම්පාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහගේ උපදෙස් මත අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර අක්කරපත්තුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන් කුමාරට පරීක්‍ෂණ ආරම්භ කරන්නට උපදෙස් දුන්නා. ඒ සමඟම ඉහළ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත අම්පාර විද්‍යාත්මක අපරාධ පරීක්‍ෂා කිරීමේ (සොකො) අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අමරසිංහ ඇතුළු නිලධාරීන් සැණෙකින් එම ස්ථානයට ගොස් පරීක්‍ෂණ කටයුතු ආරම්භ කළා.

කාරය පරීක්‍ෂා කිරීමේදී එම කාරය තුළ තිබුණ ඇතැම් උපකරණ ඇදලා සමහර ඒවා ගැලවිලා තිබ්බා. කාරය සුවඳ කිරීමට ගන්නා උපකරණ ගලවා දමලා තිබ්බා. මෙම සුවඳ කිරීමට ගන්නා උපකරණය නිසා මෙම දේ සිදුවුණාද. මේ දරුවා මේවා ආහාරයට ගත්තද යනුවෙන් පරීක්‍ෂණ අංශවල ඇස යොමු වුණා.

කාර් එක ඇතුළේ මේ ආකාරයෙන් දරුවකු මිය ගියේ කෙසේද? හුස්ම ගන්න නොහැකි වූයේ මෙම රිය තුළ ඒ මොහොතේ අවශ්‍ය ඔක්සිජන් මදිවීම නිසාද යනුවෙන් විවිධ පැති ඔස්සේ පරීක්‍ෂණ කටයුතු ආරම්භ කළා.

එම ස්ථානයට පැමිණි අක්කරපත්තුව වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා මෙම මළ සිරුර පරීක්‍ෂා කරන්නට අක්කරපත්තුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට යොමු කරන ලෙස නියෝග කළා. අක්කරපත්තුව රෝහලේ අධිකරණ වෛද්‍යවරයා එදා නිවාඩු ගොස් තිබුණා. එම කාර්යය සඳහා අම්පාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහ අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාගේ මැදිහත්වීමෙන් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ඒ. ඉලංගෝවන් මහතා කොළඹ සිට අම්පාර රෝහලට එක්ක ආවා. ඔහු පශ්චාත් මරණ පරීක්‍ෂණය කටයුතු සිදුකළා. ඒ අනුව මෙම මරණය හුස්ම ගැනීමේ අපහසුතාව නිසා සිදුවූ මරණයක් බව අනාවරණය වුණා.

ඒ අතරම මෙම දරුවාගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂාව සඳහා රස පරීක්ෂකවරයා වෙත යොමු කළා.
දරුවාගේ මරණයට වගකිවයුත්තේ කවුරුන්ද? මේ ආකාරයෙන් දරුවකු රියක් තුළ මිය යා යුතුද? යන්න බොහෝ දෙනා විමසුවා. මේ රිය නවතා තිබුණු තැනට දැඩි සේ අව්ව වැටෙනවා. රියට නැග්ග දරුවාට නැවත ‍ෙදාර ඇරගන්නට නොහැකි වන්නට ඇති. පුංචි දරුවකු නිසා මෙම දරුවාට ඒ ගැන දැනීමක්ද තිබෙන්නට නැතිව ඇති. දැඩි අව් රශ්මිය නිසා කාරය ඇතුළත ගිනියම්ව තියෙන්නට ඇති. මුළුමනින්ම වීදුරු වසා දමා තිබුණු රියේ සිට කෑ ගැසුවද පිටට කිසිවකුට මෙම ශබ්දය ඇසෙන්නේ නැහැ. මවුපියන් සහ අසල්වාසීන් පසුව නිවෙසින් පිටත් වූ දරුවා නැති නිසා සොයමින් මෙම රිය අසලින් ගියද ඒ කවුරුත් මෙම දරුවා රිය තුළ සිටින බව දැනගෙන සිටියේ නැහැ. ඒ නිසා මෙම දරුවාට අවසානයේදී හුස්ම ගැනීමට නොහැකිව අන්ත අසරණව මිය යන්නට සිදුවුණා. එම මරණය සිදුවුණේ සිය නිවෙසට මීටර් 80ක් පමණ දුරකින්.

මේ දරු පැටියාගේ මරණයට වගකිවයුත්තේ කවුද? කාරය ‍ෙදාරවල් අගුළු නොදමා ගිය එහි හිමිකරුද? ඔහු කාරයේ අගුළු දැමුවානම් මෙම දරුවා මිය යන්නේද නැත. නිවෙසින් කුඩා දරුවන්ට නිදැල්ලේ ඉන්නට ඉඩ දීමද මේ මරණයට හේතුවක්. වයස අවුරුදු පහක් යනු යමක් තේරුම් ගැනීමට නොහැකි වයසක්. ඒ නිසා දරුවන් ගැන නිසි අවධානයෙන් නොසිටීම මෙවන් විපත්වලට පාර කපන බව මේ මරණය අපට පාඩමක් කියා දෙනවා.

දණ්ඩ නීති සංග්‍රහයේ 75 වැනි වගන්තියේ වයස අවුරුදු 08ට අඩු දරුවකු සිදු කරන ක්‍රියාවන් වරදක් නොවන බවට දක්වා තිබෙනවා. ඒ අනුව මෙම පුංචි දරුවා කාරයට ඇතුළුවීම නීතියෙන් වරදක් නම් නෙවෙයි. ඒ නිසා මවුපියන් තම දරුවන්ට මේ ආකාරයෙන් පැය ගණනක් නිදැල්ලේ හැසිරීමට ඉඩදීම ගැන නැවත නැවත සිතිය යුතුයි.
ඉදිරියේදී රස පරීක්ෂකගේ වාර්තාවත් ලැබෙන්න තියෙනවා. ඒ අනුව නිසි තොරතුරු තව දින කිහිපයකින් අනාවරණය වෙයි. මොනව වුණත් දැන් මේ පොඩි එකා මේ ලෝකයෙන් සමු අරගෙන ගිහින්.

මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු අම්පාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙසිංහගේ උපදෙස් මත කොට්ඨාස භාර පොලිස් අධිකාරි සාම්ත විජේසේකරගේ මඟ පෙන්වීමෙන් සහකාර පොලිස් අධිකාරි මනෝජ් රණගලගේ අධීක්ෂණයෙන් අම්පාර අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ අංශයේ ස්ථානාධිපති පො.ප. අමරසිංහ, උ.පො.ප. ප්‍රියදර්ශන, පො.කො. සිරිවර්ධන (66500), පො.කො. දිසානායක (80737) සහ අක්කරපත්තුව පොලිසියේ ස්ථානාධිපති සමන් කුමාර, අපරාධ පරීක්ෂා කිරීමේ අංශයේ උ.පො.ප. රනිල් සහ උ.පො.ප. ලාරිප් ඇතුළු නිලධාරීන් පිරිසක් සිදුකරනු ලබති.

පටබැඳිගේ අමරබන්දු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon