සොරකම් කරන්න සහාය දුන් නාවික සෙබළුන් දෙදෙනා රිමාන්ඩ්

  👤  3788 readers have read this article !
By mawbima 2017-08-11

අමිල අබේරත්න

ජනාධිපති මන්දිරයේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ අලුත්වැඩියා කටයුත්තක් සඳහා ගෙන ආ ටයිල් කැටවලින් එක්ලක්ෂ අනූ හතර දහස් නවසියයක් වටිනා (1,94,900) ටයිල් කැට 291ක් සොරකම් කිරීමට සහාය දැක්වීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ නාවික සෙබළුන් දෙදෙනකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.

සිදුකර ඇති වරද අධිචෝදනීය සහ පොදු දේපළ පනත යටතට ගැනෙන වරදක් බවද එම හේතුව මත චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුවන් වරද පිළිගනු ලැබුවත් දඩයක් නියම කිරීමට මෙම අධිකරණයට හැකියාවක් නොමැති බවද කොටුව මහෙස්ත්‍රාත්වරිය දන්වා සිටි අතර සිද්ධිය සම්බන්ධ විමර්ශන කඩිනමින් අවසන් කර නීතිපතිවරයා වෙත යොමු කරන ලෙසද කොල්ලුපිටිය පොලිසියට දැනුම් දෙනු ලැබුවාය. ටයිල් මිලදීගෙන තිබෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වියදම්වලින් බවද කොල්ලුපිටිය පොලිස් නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කරනු ලැබිණි.

ජනාධිපති මන්දිරයේ සහ ලේකම් කාර්යාලයේ අලුත්වැඩියා කිරීම සඳහා ගෙන ආ ටයිල් පැරැණි කාතානායක නිල නිවෙසේ (මුන්ටාස්් මහල් පරිශ්‍රයේ) ගබඩා කර තිබූ අවස්ථාවේදී නාවික හමුදා සෙබළුන් දෙදෙනා ටයිල් කැට 291ක සොරකම් කර රැගෙන යෑමට සහාය දක්වා ඇති අතර ඒ අවස්ථාවේ භාණ්ඩ ගබඩාව භාරව සිට ඇත්තේ එම නාවික හමුදා සෙබළුන් දෙදෙනාය.

නාවික හමුදා සෙබළුන් දෙදෙනා අනුරසිරි බණ්ඩාර, නුවන් සිසිර කුමාර ජයසිංහ නමැති දෙදෙනකු වන අතර සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ධනුෂ්ක කසුන්, උපුල් ධම්මික නමැති නාවික හමුදා සෙබළුන් දෙදෙනාගේ හිතවතුන් දෙදෙනෙකි.

ප්‍රධාන සැකකරුවන් දෙදෙනා පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබිණි.
කොල්ලුපිටිය පොලිසිය පැමිණිල්ල ගොනු කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්