ආබාධිත ගොළු ජෝඩුව ත්‍රිරෝද රථය උස්සලා

  👤  3799 readers have read this article !
By mawbima 2017-08-11

අනුරාධපුර _ මහේෂ් විජේසූරිය

අනුරාධපුර අටමස්ථාන පූජා භූමියේ පැවැති පිච්ච මල් පූජාව දිනයේ රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා ත්‍රිරෝද රථයක් සොරාගෙන පලාගිය ගොළු ආබාධිත යුවළක් එම සොරාගත් ත්‍රිරෝද රථය සමඟ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් තවත් සොරකම්වලට සම්බන්ධද යන්න අනාවරණය කර ගැනීමට පරීක්ෂණ සිදු කරයි.

පිච්ච මල් පූජාවට සහභාගි වීමට පැමිණි කැකිරාව පොලිස් වසමේ ඇතාවැටුණු වැව මරඳන්කඩවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු පොලිසියට කළ පැමිණිල්ලට අනුව සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන තිබිණි. පසුගියදා (29දා) අටමස්ථාන පූජා භූමියේ පැවැති පිච්ච මල් පූජාවට පැමිණි පැමිණිලිකරු ත්‍රිරෝද රථය රුවන්වැලි සෑය රථ ගාලේ නවතා පූජාවට එක්වී තිබෙන බව පොලිසිය පැවැසුවේය.

පූජාව අවසන් වීමෙන් අනතුරුව නිවෙසට යෑමට පැමිණි ඔහු ත්‍රිරෝද රථය නැවතූ ස්ථානයේ නොමැති වීම නිසා පසු දිනය වන තුරුම රථය සොයා ඇතත් එය සොයා ගැනීමට නොහැකි වීම නිසා අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබිණි. අනතුරුව පොලිස් නිලධාරීන් නගර ආරක්ෂාව සඳහා සවි කර තිබෙන ආරක්ෂිත කැමරා පද්ධතිය පරීක්ෂාවට ලක් කර සැකකරුවන් ත්‍රිරෝද රථය නගරයෙන් පිටතට රැගෙන යන අයුරු නිරීක්ෂණය කර තිබේ.

පසුව සිදු කළ පරීක්ෂණවලදී ඔවුන් දෙදෙනා ගල්ගමුව පොලිස් වසමේ මහගල්කඩවල පදිංචිකරුවන් බව පොලිසිය අනාවරණය කරගෙන අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකාර යුවළට කතා කිරීමට නොහැකි නිසා ඔවුන් භාෂා පරිවර්තන නිලධාරියකුට යොමුකළ අවස්ථාවේ ත්‍රිරෝද රථය සොරාගෙන ගිය බව පවසා තිබිණි.
අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එස්. කුමාරසේන මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඒ.එන්. විජේසේකර, පොලිස් සැරයන් සේනාරත්න (31351), පොලිස් කොස්තාපල් ජයවර්ධන (29957), ජයන්ත (34489) යන නිලධාරීන් සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්