මහ දවල් අත්තිඩියේ බැංකු කොල්ලයක්

  👤  3857 readers have read this article !
By mawbima 2017-08-11

චාමර අමරසුරිය

අත්තිඩිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවකට පිස්තෝල සහිතව ඇතුළු වූ මුහුණු වසා ගත් කොල්ලකරුවන් දෙදෙනකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් එම බැංකුවේ ආරක්ෂක නිලධාරියකු මිය ගොස් තවත් ආරක්ෂක නිලධාරියකු බරපතළ තුවාල ලබා ඊයේ (10දා) කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ බණ්ඩාරගම, ගුංගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි කමල් ගුණවර්ධන නමැති ආරක්ෂක නිලධාරියාය.
යතුරුපැදියකින් පැමිණි මෙම කොල්ලකරුවන් දෙදෙනා පෞද්ගලික බැංකුවට ඇතුළු වී එහි කවුන්ටර්වල තිබූ මුදල් සහ තැන්පත්කරුවන්ගේ මුදල් රැගෙන පලා යන අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

වෙඩි ප්‍රහාරය සඳහා මිලිමීටර් 9.9 වර්ගයේ පිස්තෝලයක් භාවිත කර ඇති බවද පොලිසිය පවසයි.
කොල්ලකරුවන් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කොට ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් 'මව්බිම'ට පැවැසීය.
ගල්කිස්ස මූලස්ථාන පොලිසිය මඟින් මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්