දෙපිටලම චයිනමන් පන්දු යවන්නන්: ළහිරුලා දෙදෙනකු ශ්‍රී ලංකා පිලට එක්වන ලකුණු

  👤  3884 readers have read this article !
By mawbima 2017-08-11

විචිත්‍ර වීරසිංහ

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා-ඉන්දීය තෙවැනි ටෙස්ට් තරගය මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේදී හෙට (12දා) ආරම්භ වන්නේ මෙම ක්‍රීඩා පිටියේදී ඉන්දියාව සහභාගි වන පළමු ටෙස්ට් තරගය ලෙසිනි.

මේවන විට තරග 2-0ක් ලෙස ටෙස්ට් තරගාවලිය පරාජයට පත්වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තම ප්‍රධානතම පන්දු යවන්නකුද නොමැතිව (රංගන හේරත්) හෙට තරගයට මුහුණ දෙන අතර, මෙම ක්‍රීඩා පිටියේදී පසුගිය වසරේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව මංගල තරගයට ක්‍රීඩා කරමින් පළමු ඉනිමේදී කඩුලු 4ක් හා දෙවැනි ඉනිමේදී කඩුලු 3ක් දවාගත් චයිනමන් පන්දු යවන්නකු වන ලක්‍ෂාන් සඳකැන් මෙම තරගය සඳහා යොදවා ගැනීමට වැඩි අවස්ථාවක් තිබේ.

මේ අතර මෙම පිටියේදීම පසුගිය වසරේදී ප්‍රබල ඕස්ට්‍රේලියානුවන්ද පරාජය කිරීමට සමත්ව තිබීමත් ඉන්දියාව මෙම පිටියේදී ක්‍රීඩා නොකර ඇති බැවිනුත් එම වාසිය ශ්‍රී ලංකාව සතුව ඇති අතර, එම තත්ත්වයට සුළුවෙන් හෝ එරෙහිව ඇත්තේ ආබාධ හේතුවෙන් මේ වනවිට කණ්ඩායමෙන් ඉවත්ව සිටින රංගන හේරත්ගේ හා නුවන් ප්‍රදීප්ගේ අඩුව පිරිමැසීමට අනෙකුත් පන්දු යවන්නන්ට හැකි වේද යන්නය.

තවද තරග තහනමකට යටත්ව හෙට තරගය සඳහා ක්‍රීඩා නොකරන ඉන්දීය පිලේ රවීන්ද්‍ර ජදේජා වෙනුවට චයිනමන් පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදව් යොදවා ගැනීමට ඉඩ තිබේ. එසේ වුවහොත් කණ්ඩායම් දෙකක චයිනමන් පන්දු යවන්නන් දෙදෙනකු ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙය බවට පත්වනු ඇත.

එස්.එස්.සී. පිටියේදී පැවැති දෙවැනි තරගයට කැඳවා එහිදී අසාර්ථක වූ ධනංජය ද සිල්වාගේ ස්ථානයට කලකට පසු ටෙස්ට් සංචිතයට එක්වූ ලහිරු තිරිමාන්න කැඳවීමට ඉඩ ඇති බවද දැනගන්නට ඇත. කෙසේ වුවත් මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ප්‍රධානතම වේගපන්දු යවන්නා වන ලහිරු කුමාරගේ සහායට දුෂ්මන්ත චමීර හෝ ළහිරු ගමගේ හෙට තරගයට ක්‍රීඩා කරනු ඇති බවද පැවැසේ.

යම් හෙයකින් තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා-ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී මේ වනවිට තරග 2-0ක් ලෙස පෙරමුණේ පසුවන ඉන්දියාව හමුවේ මීළඟ ටෙස්ට් තරගයත් ශ්‍රී ලංකාව පරාජයට පත්වුවහොත් ඉන්දියාව හමුවේ මෙරටදී පැවැති තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සම්පූර්ණයෙන්ම පරාජය වන පළමු අවස්ථාව මෙය බවටද ඉතිහාසගත වනු ඇත.

මේ අතර මහනුවරට මේ දිනවල කඩින් කඩ වර්ෂාවක් පැවැතියත් පෙරේදා (09දා) වනතෙක් පල්ලෙකැලේ ප්‍රදේශයට වර්ෂාවෙන් බාධා එල්ල වී නොතිබිණි. එහෙත් ඊයේ (10දා) දහවල් වරුවේදී එම ප්‍රදේශයට වර්ෂාව පතිත වී ඇති බවද වාර්තා විය.

හෙට තරගයට අදාළ ශ්‍රී ලංකා සංචිතය මෙසේය - දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග (උපනායක), ඇන්ජිලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ළහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, විෂ්ව ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, දිමුත් කරුණාරත්න, ළහිරු කුමාර, කුසල් මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, මලින්ද පුෂ්පකුමාර, ළහිරු ගමගේ, දුෂ්මන්ත චමීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්