වැලි, සිල් රෙදි, කාර්, කැරම් බෝඩ් හොරු ඉන්නවා නම් කෑ ගහන්න: නැත්නම් කට වහගන්න

  👤  3836 readers have read this article !
By mawbima 2017-08-11

යහපාලන ආණ්ඩුවේ විදේශ ඇමැති රවි කරුණානායක ඊයේ (10දා) පස්වරු 1.30ට පෞද්ගලික වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් විශේෂ ප්‍රකාශයක් කොට ඇමැති ධුරයෙන් ඉල්ලා අස්විය. ඔහු යහපාලන ආණ්ඩු බලයට පත්වූ පසු ඉල්ලා අස්වූ දෙවැනි කැබිනට් ඇමැතිවරයාය. ඇවන්ගාඩ් සිද්ධිය පසුබිම් කරගෙන නැඟුණ චෝදනා හේතුකොටගෙන තිලක් මාරපන ප්‍රථමවරට අස්වූ ඇමැතිවරයා විය.

රවි කරුණානායක සම්බන්ධව බැඳුම්කර කොමිසම හමුවේ මතු වූ කරුණු පිළිබඳ චෝදනා නැඟී තිබිණි. ඉකුත් දින කිහිපයේම ජනමාධ්‍යයේ ප්‍රධාන තැනක් රවි කරුණානායකට හිමිවී තිබුණේය. ඔහු ඉල්ලා අස්වේද, අස්කරයිද යන ප්‍රශ්න ජනතා සිත්හිද පැවැතිණි. කෙසේ නමුත් ඇමැතිවරයා එසේ ඉල්ලා අස්වී පසුව නිල මන්ත්‍රිවරයෙක් වශයෙන් කටයුතු කිරීමට ආණ්ඩුවේ පසුපෙළේ ආසනයක වාඩි විය.

ඇමැතිවරයා විශේෂ ප්‍රකාශය කිරීමට සභාගැබට පැමිණියේ පස්වරු 1.25ට පමණය. කතානායක කරු ජයසූරිය මුලසුනේ සිටියේය. අගමැති රනිල් වික්‍රමසිංහ ද සභාවේ විය.
මේ කතා කරගෙන යනවිට ඒකාබද්ධ විපක්ෂයෙන් වරින් වර බාධා මතුවිය. ඒ බාධා මැඬගෙන ආණ්ඩු පක්ෂයද කැලඹිණි. ඔවුන්ද විවිධ වචන කියමින් ඝෝෂා කළහ. "හොරාගෙ සල්ලිවලට කෑගහනවා... අර්ජුන් ඇලෝසියස්ගේ සල්ලිවලට කෑගහනවා" යැයි ඒකාබද්ධ විපක්ෂය හඬ නැඟීය. රවිගේ කතාව අවසානයේදී අගමැති රනිල් වික්‍රමසිංහ පැවැසුවේ රවි කරුණානායකගේ ඉල්ලා අස්වීම බැඳුම්කර කොමිසමේ පරීක්ෂණයට ආණ්ඩුව ඇඟිලි ගහන්නේ නැතැයි පෙන්නුම් කරන උදාහරණයක් ඇති කර තිබෙන බවයි.

ඒකාබද්ධ විපක්ෂය වරින් වර අගමැතිවරයාටද බාධා කළහ. සභාවට නිහඬ වන්නැයි කතානායක කරු ජයසූරිය කිහිපවරක්ම නියෝග කළේය.
අගමැති රනිල් වික්‍රමසිංහ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රිවරුන්ට එල්ල කළේ කර්කශ ඇනුම් පදයකි. ඔතැන වැලිහොරු, කැරම් බෝඩ් හොරු ඉන්නවාද, කුඩුකාරයෝ ඉන්නවාද, කාර් හොරු ඉන්නවාද, සිල් රෙදි හොරු, සුනාමි හොරු ඉන්නවාද එහෙම ඉන්නවා නම් කෑගහන්න. නැත්නම් කෑගහන්න එපා.
පසුගිය කාලෙ චෝදනා නැඟුණ අය ගැන කතා නොකළද මාධ්‍යට අද ඉල්ලා අස්වන්නැයි කියන තරමට නිදහස තිබෙන බව කීවේය.
ඉල්ලා අස්වෙන්න කියනකොට අපට ද්‍රෝහීන් කියා කීවා. අපටත් හොරා කියනවා.... ලියන එකත් හොරා ඉතින් අපි මොනවා කරන්නද? අද යහපාලනය තිබෙනවා." අගමැතිවරයා වැඩිදුරටත් කීවේය.

අගමැතිවරයාගේ කතාවෙන් පසු විපක්ෂ නායක ආර්. සම්පන්දන් අදහසක් පළ කරමින් රවි කරුණානායක ඉල්ලා අස්වීම ශේ‍ර්ෂ්ඨ ක්‍රියාවක් බවත් අධිකරණය හමුවේ වැරැදිකාරයකු වනතුරු කෙනකු නිවැරදිකරුවෙක් වන බැවින් රවි අමාත්‍යවරයා වැරැදිකරුවෙක් වී නැති බවත් කීවේය. ඒකාබද්ධ විපක්ෂයට ඒ කතාව නයාට අඳුකොළ වැනි විය.

"ලජ්ජා නැති විපක්ෂ නායකවරයෙක්" දිනේෂ් ගුණවර්ධන ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් නායකවරයා සම්පන්දන් දෙසට හැරී හඬ නැඟුවේය. ඒකාබද්ධ මන්ත්‍රි කණ්ඩායමද ඇවිස්සී කෑගසන විට, ආණ්ඩු පසු පෙළ මන්ත්‍රිවරු ඇමැතිවරු පවා කලබලයට පත්වූ බව පෙනුණි. චමින්ද විජේසිරි, විජේපාල හෙට්ටිආරච්චි, දිලිප් වෙදආරච්චි , කාවිංග ජයවර්ධන ඇතුළු කිහිපදෙනකු සභාගැබ මැදට පැමිණියහ.

ගාමිණී ජයවික්‍රම, මලික් සමරවික්‍රම ඇමැතිවරුන් සභාගැබ මැදට මන්ත්‍රින් පැමිණීම වළක්වා ගන්නට උත්සාහ කරන අතර වේත්‍රධාරීන් ද එතැනට පැමිණ සභාව සන්සුන් කරන්නට මෙන්ම සෙංකෝලය ආරක්ෂා කිරීමටද අවධානය යොමු කළහ. හොරා, බල්ලා, අවලම් බල්ලා වැනි වචනද ඇසිණි. සභාව මැදට පැමිණි ආණ්ඩු පක්ෂ මන්ත්‍රින් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රින් සටනට කැඳවූහ. මිනිත්තු ගණනාවක් පුරා පැවැති ගාලගෝට්ටිය අවසන් වනතුරු සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රිවරයාට සිය කතාව පටන් ගන්නට බැරිව හිටගෙනම සිටියේය.

මහින්ද අමරවීර ඇමැතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයාය. රවිගේ අස්වීම ගැන ඔහුගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය. "මිත්‍රයා නිසා කියන්නම ඕනෑනෙ. ඉල්ලා අස්වීමෙන් යහපාලනය සම්බන්ධ රටට ආදර්ශයක් දීලා තිබෙනවා. මහ බැංකු බැඳුම්කර වංචාව ගැන පළමු පැමිණිල්ල කළේ මමයි." මහින්ද අමරවීර කීවේය. නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා කතා කරමින් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රිවරුන් ජාතිවාදී ලෙස කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයාට තර්ජනය කළ බවත් කීවේය.
"විපක්ෂ නායකවරයාට කරන ලද තර්ජනය ගැන පරීක්ෂණයක් පවත්වන්නැයි කතානායකතුමාගෙන් ඉල්ලනවා. මේ ඉල්ලා අස්වීම ඒකාබද්ධෙ හොරු රැළට පාරාවළල්ලක් වෙලා. මිනීමැරුම්වලට, හොරකම්වලට දඬුවම් ලබන දවස වැඩි අෑතක නැහැ" නලින් බණ්ඩාර අවධාරණයෙන්ම පැවැසීය.

විට කන අයට නඩු දානවා - රට කන අයට නඩු දාන්නේ නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශයට අයවැයෙන් බිලියන 203ක් වෙන්කළා කිව්වා. ඇත්තටම වෙන්කළේ බිලියන 65යි. අධ්‍යාපන අමාත්‍යාංශයට මුදල් නැති නිසා අධ්‍යාපන ඇමැති පින්කැට ගන්න යනවා. අගමැතිතුමාගෙ පින්කැටේ කියලා අධ්‍යාපන ඇමැතිතුමාට අද රටේ මිනිස්සු කියනවා.
ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රි සිසිර ජයකොඩි කලකට පසු විවාදයකට එක්වුණේ එවැනි අලුත් අදහසක්ද පළ කරමිනි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක ගම්මිරිස් මිල පහත වැටීම නිසා එම ගොවියාට සිදුවූ අකරතැබ්බය ගැන විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රශ්න කළේය.
දයා ගමගේ ප්‍රාථමික කර්මාන්ත ඇමැතිවරයා ඉතා පැහැදිලි පිළිතුරක් දෙමින් "රුපියල් 900ක ස්ථාවර මිලක් නියම කර ඒ මිලට ගම්මිරිස් ලබාගැනීමට අවශ්‍ය මුදල්, මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලුවාම ඒ සඳහා යාන්ත්‍රණයක් නැති බවට මුදල් අමාත්‍යාංශය කියනවා. ඔබතුමයි මමයි ඉන්න තැන අපේ කැබිනට් ඇමැතිවරු නැති එක ගැන මා කනගාටු වෙනවා."
නවීන් දිසානායක ඇමැතිවරයා කතා කළේ ආචාර්ය හර්ෂ ද සිල්වා රාජ්‍ය ඇමැතිවරයාට පසුවය. වෙනදාට වඩා ආචාර්ය හර්ෂගේ කතාව වේගවත් විය. උද්වේගකර විය. නවීන් දිසානායක මහතා පටන් ගත්තේ "ඊළඟ මුදල් ඇමැතිතුමාගෙ කතාවට පස්සේ කතා කිරීමට ලැබීම ගැන සතුටු වෙනවා" යි කියමිනි. ඒ කතාවෙන් කියැවුණේ යහපාලන ආණ්ඩුව තුන්වැනි මුදල් ඇමැතිවරයකුද පත්කිරීමේ ඉඟියක්ද?

විශ්වාසභංග යෝජනාවට ප්‍රස්තුත වූ ඇමැති කරුණානායක සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ බැවින් විශ්වාසභංගය පිළිනොගන්නා බව කතානායක කරු ජයසූරිය සභාවට දැනුම් දුන්නේය. ආචාර්ය සරත් අමුණුගම කතා කරමින් සිටියදී මුලසුනට පැමිණි කතානායකවරයා සිය තීරණය දන්වා මිනිත්තු කිහිපයකින් සභාගැබෙන් පිටවිය.
පිළිනොගත් විශ්වාසභංග යෝජනාවේ උපත ගැන නවින් දිසානායක රසවත් කතාවක් කීවේය. "කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රිතුමාගේ පුතාගෙ විවාහ මංගල්‍යයේදී තමයි ඒකට අස්සන් කළේ. අංක තුන කියලා බන්දුල ගුණවර්ධන අස්සන දාලා ඊට පස්සේ පහ කියලා දාලා තියෙනවා. එතැනදී ඇඟ රත්වෙන්න මොනවා හරි ලැබුණාද දන්නෙ නැහැ..."
"නැහැ ඒක තාක්ෂණික දෝෂයක්" ඒකාබද්ධ විපක්ෂයෙන් කියනු ඇසිණි.

සමෘද්ධි සහනාධාර කප්පාදු කරන බවට දිනේෂ් ගුණවර්ධන ප්‍රශ්නයක් යොමු කළේ ස්ථාවර නියෝග 23(2) අනුවය. පිළිතුරු දීමට නියමිත සමෘද්ධි විෂය භාර ඇමැති එස්. බී. දිසානායක සභාවේ සිටියේ නැත.

"ඇමැතිතුමා ඊළඟ පාර්ලිමේන්තු සතියේ පිළිතුරු දෙනවා". ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක කීවේය. දිනේෂ් හෝ ඒකාබද්ධය ඒ කතාවට පැහැදුණේ නැත. "ඊළඟට පාර්ලිමේන්තුව රැස්වෙන්නේ සති දෙකකින්. එතෙක් කපන එක නවත්වනවාද? අගමැතිතුමා නැහැ. ඇමැතිතුමා නැහැ. සභානායකතුමා නැහැ. ආණ්ඩුව වෙනුවෙන් ඉන්නේ ඔබතුමා... ඔබතුමා කැපීම නවත්වන බවට පොරොන්දු වෙනවාද?" දිනේෂ් ඉතා පැහැදිලිව විමසුවේය. ගයන්ත හිරවෙන බවක් පෙනිණි. "මේ සැලසුම් සහගතව ඇවිත් ඉන්නෙ. අද දවසේ නාඩගම මේක. සැලසුම් සහගතව ඇවිල්ලා" ගයන්ත කියනවිට මන්ත්‍රි කණ්ඩායම ගෙල වටා කළුපටි පැලඳගෙන විරෝධතා සටන්පාඨ රැගත් පෝස්ටර් ඔසවා ගත්හ.

සමෘද්ධි සහනාධාරයට අත නොතබනු! සහනධාර කපා හරින්න ලැජ්ජා නැද්ද? ඒ පෝස්ටර්වල දැක්විණි.
"පිළිතුර ලැබෙන තෙක් කප්පාදුව නතර කරනවාද"? අනුර කුමාර දිසානායක ප්‍රශ්න කෙළේ ගයන්ත ගෙනි.
"අවුරුදු විස්සක් කැපුවා අපේ මිනිසුන්ගේ. දේශපාලනය නැතිව දුප්පත්කම නියම හේතුව කරගෙන සමෘද්ධිය දීමට කටයුතු කරගෙනයනවා ගයන්ත කීවේය.
හම්බන්තොට දේශපාලන ලේඛන මත සමෘද්ධි සහනාධාරය කපා හරින බව කීවේ නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයායි. "එස්. බී. දිසානායක ඇමැතිතුමා හිතාමතාම පාර්ලිමේන්තු ඇවිත් නැහැ" යි නාමල් එස්. බී.ට චෝදනාවක්ද කෙළේය.

මේ අවස්ථාවේ විපක්ෂ මන්ත්‍රි කණ්ඩායම පෝස්ටර් ඔසවාගෙන ඝෝෂා කරමින් සිටියහ. "හැමදාම මෙහෙම කඩා කප්පල් කරන්න දෙන්න බැහැ. මහජන සල්ලි වියදම් කරන්නෙ. මා එස්. බී. ඇමැතිතුමාට කතාකර පිළිතුරු සඳහා අවස්ථාව දෙන්නම්. ප්‍රධාන සංවිධායකතුමාට ඇමැතිතුමා වෙනුවෙන් උත්තර දෙන්න බැහැනෙ" කියූ කතානායක ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා අපහසුතාවෙන් මුදා ගත්තේය.

 දයා පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්