ජනතාවට ඕනෑ යළි රාජපක්‍ෂ යුගයකට යන්න

  👤  3914 readers have read this article !
By mawbima 2017-08-11

බැඳුම්කර වංචාවෙන් දිවි නසාගත් ආණ්ඩුව පළමුව කනත්තට රැගෙන යන්නේ රවි කරුණානායක අමාත්‍යවරයා බව දකුණු පළාත් සභා මන්ත්‍රි චන්දන සිරිබද්දන මහතා පවසයි.
හෙතෙම මේ අදහස් පැවසුවේ කඹුරුපිටියේ පැවති ජන හමුවක් අමතමින්ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ සිරිබද්දන මහතා මෙසේද කීය.

මේ ආණ්ඩුව කනත්තට යන ගමන ඉක්මන් වෙලා කියල අපිට පේනවා. ඒ කනත්තට යන ගමනේ මළබෙරකාරයා හිටපු මුදල් ඇමැතිතුමා වෙලා ඉවරයි. අපිට දැන් දැන් පෙනී යනවා බැඳුම්කර සොරකමත් එක්ක අර්ජුන් ඇලෝසියස් මුදල් හම්බකරල තියෙන්නෙ තමන් වෙනුවෙන් විතරක් නොවෙයි ගජ මිතුරු කල්ලියක් වෙනුවෙන් බව. දැන් තමයි මල්ලෙන් බළල්ලු එකින් එක එළියට පනින්නේ.

බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙන විට අපි දැක්කා එම සාක්ෂිවලින් මුදල් ඇමැතිවරයාට රුපියල් ලක්ෂ එක්දහස් හයසිය පනහක ගෙයක් අරන් දීපු එක. ඒකට ලක්ෂ ‍ෙදාළහක මාසික කුලියක් අර්ජුන් ඇලෝසියස් සමාගමෙන් ගෙවපු එක. මේවා නොදන්න තරමට රවිට සිහි විකල් වෙලා.

මේ දූෂණ යටපත් කරගන්න මාධ්‍ය ආයතන නිර්මාණය කරගත්තා. ජනයුගය කියල පත්තරයකුත් ගැහුවා. ඒක ජනයුගය නොවෙයි. ආණ්ඩුවේ මළ යුගය බවට දැන් පත්වෙලා. සල්ලිවලට ඕනම දෙයක් කරන්න පුළුවන් කියල හිතාගෙන කරපු දේවල් දැන් හරියන්නෙ නෑ. ලංකාවේ මාධ්‍යයට සදාචාරයක් තියෙනවා. ලංකාවේ පත්තර බිහිවුණේ කාලයක් තිස්සේ ජනතාවගේ හදවත් තුළ රැඳී සිටිමින්. ඒවා විනාශ කරන්න මොන යුගයක් ආවත් බෑ. මොකද ජනතාව සත්‍යය තේරම් අරගෙන ඉවරයි. ඒ නිසා තමයි අපි කියන්නේ මේ රටේ තියෙන මාධ්‍ය ආයතන විනාශ කරන්න ආවාට දැන් දැන් ඔවුන්ගේ මළ යුගය උදාවී ඇති බව අපිට පෙනී යනවා. ඒ වගේම දැන් කියනවා බදු බර වැඩි වෙලා තියෙන්නේ හොරකම් කරපු නිසා කියල. නමුත් මේ රටේ ප්‍රගතිශීලී ජනතාව දන්නවා මේ රටේ ගාම්භීරත්වයට මේ රටේ අනන්‍යතාවට හානියක් නොකර, මේ රටේ රාජ්‍ය සම්පත් විකුණන්නේ නැතිව හිටපු ජනාධිපතිතුමා ණය අරගෙන හරි මේ රට සංවර්ධනය කළා කියල. අද මේ රටේ පාරකට තාර ඩිංගක් දාන්න බැරි මේ ආණ්ඩුවට වරායවල් හදන්න පුළුවන්ද? ගුවන් තොටුපළවල් හදන්න පුළුවන්ද? කොහෙත්ම බැහැ.

නමුත් මේ ආණ්ඩුව එක දෙයකට දක්ෂයි. එක දෙයකට ශූරයි. ඒ තමයි රාජ්‍ය සම්පත් කුණු කොල්ලයට විකුණාගෙන කන එකට. ඔවුන්ගේ මඩි තරකරගන්න. මෙවැනි පසුබිමක නැවත මහින්ද රාජපක්ෂ යුගයක් ජනතාව අපේක්ෂා කරන්නේ ඔවුන්ට දැන් දැන් සැබෑ තත්ත්වය වැටහෙන නිසා. මේ ආණ්ඩුව පලවා හරින එක වැඩි අෑතක නෑ.

මාතර - උදය කුමාර රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්