රවි පමණක් නොවේ විජයදාස - සාගල ඇමැතිවරුත් ප්‍රශ්නයක්

  👤  3953 readers have read this article !
By mawbima 2017-08-11

රවි කරුණානායකගේ විශ්වාසය භංග වී තිබෙන නිසා ඔහුට එරෙහිව අලුතින් විශ්වාසභංග ගෙන ඒමේ අවශ්‍යතාවක් නැති බව වමේ කේන්ද්‍රයේ සමකැඳවුම්කරු චමීර පෙරේරා පවසයි.

ඔහු මේ බව පැවැසුවේ සමාජය හා සාමයික කේන්ද්‍රයේදී වමේ කේන්ද්‍රය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
යහපාලන ආණ්ඩුවට තමන්ගේ තිබෙන පාරදෘශ්‍ය භාවය පෙන්වීමට නම් චෝදනාවට ලක්ව සිටින රවි කරුණානායක අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවත් එය යහපාලන අණ්ඩුවක තිබෙන්නා වූ කැපවීම බවත් ඔහු පැවැසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චමීර පෙරේරා -
වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරුන් කීපදෙනෙක් පිළිබඳ නැවත වතාවක් සිතිය යුතුයි. වර්තමාන විදේශ ඇමැති, අධිකරණ ඇමැති, නීතිය හා සාමය භාරව ඉන්න ඇමැති ඔවුන් ගැන රජය වහාම පියවරක් ගත යුතුයි කියලා අපි අවධාරණය කරනවා.

රවි කරුණානායක ගැන විමර්ශනයන් සිදු කරලා ස්වාධීන විමර්ශනයකින් අවසන් තීරණයක් ගන්නා ලෙස අපි පුරවැසි සංවිධාන විදියට ඉල්ලා සිටිනවා.
පසුගිය මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කාලෙදි අපි ඒ දේ දැක්කෙ නැහැ. යහපාලන ආණ්ඩුවෙන් හෝ ඒ දේ විය යුතුයි.

යහපාලන ආණ්ඩුව පසුගිය අවුරුදු දෙකහමාරක කාලය තුළ චෞරයන්ට නීතිය ක්‍රියාත්මක කරපු විදිය ගැන බරපතළ ප්‍රශ්නයක් අපිට තියෙනවා. රවි කරුණානායකගේ චෝදනාවට ආදාළව පිටු අටදහස් හයසියයක් පැය 48ක් ඇතුළත කියවනවා. නමුත් ගෝඨාභය රාජපක්ෂ කෝටි 9ක් වියදම් කරලා තමන්ගෙ මවුපියන්ට කෞතුකාගාරයක් හදන්න වියදම් කරපු එකට ගෝඨාභය රාජපක්ෂගේ අස්සන හොයන්න දැන් අවුරුදු දෙකහමාරක් ගතවෙලා ඉවරයි. අවුරුදු 2 1/2ක් ගත වෙලත් නීතිපති දෙපාර්තමේන්තුවට තවම බැහැ ගෝඨාභාය රාජපක්ෂගේ අස්සන තහවුරු කරන්න. අපි විතරක් නෙවෙයි ජනාධිපතිවරයාම කිව්වා පසුගිය කාලෙදි නීතිපති දෙපාර්තමේන්තුවේ සහ පොලිසියේ ක්‍රියාකලාපය ගැන. ඒ නිසා අපි ජනාධිපතිවරයාට කියනවා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ගැනත් අධිකරණ අමාත්‍යවරයා ගැනත් වහාම තීරණයක් ගන්න කියලා.
ඊයේ අපි දැක්කා මහ බැංකු බැඳුම්කරය සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිසම ඉදිරියේදී පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සාක්ෂි දෙනවා. ඔහුගේ සාක්ෂිවලට අනුව ඉතාම පැහැදිලි වෙනවා කොහොමද 2013 - 2014 කාලෙදි පර්පචුවෙල් සමාගමට අවශ්‍ය කරන දේවල් ලබා දෙමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කටයුතු කරපු ආකාරය. ඔහු තමයි 2013දී මුලින්ම පර්පචුවෙල් සමාගමට අවසර දුන්නේ. අජිත් නිවාඩ් කබ්රාල්ගේ සහෝදරිය තමයි 2013 වර්ෂයේදී පර්පචුවෙල් සමාගමේ අධ්‍යක්ෂවරිය විදියට කටයුතු කරලා තියෙන්නේ.

ඒ වගේම තමයි නාමල් රාජපක්ෂ කියනවා තව දින කිහිපයකින් දේශපාලනයවත් නොකරපු අපේ අම්මාව අත්ඩංගුවට ගන්න පුළුවන් කියලා. දේශපාලනය නොකළාට යම් යම් විමර්ශනවල හෙළිදරව් වෙන විදියට තාජුඩීන්ගේ ඝාතනය දවසේ පොලිසියට දුරකතන ඇමැතුම් 40ක් විතර දීලා තියෙන්නේ ශිරන්ති රාජපක්ෂ මැතිනිය කියලා. ඇය පොලිසියට දුරකතන ඇමැතුම් දෙන්නේ ඇය පොලිසිය භාර ඇමැතිවරියද කියලා අපි අහනවා.

මේ බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් රවි කරුණානායක වගේම මේ ආණ්ඩුවේ යම් යම් මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් තොරතුරු තියෙනවා. මොවුන් සම්බන්ධයෙනුත් විමර්ශන සිදුවිය යුතුයි. සියලුම දේ එක්කෙනාගෙම පිටින් යවන එක නෙවෙයි කළ යුත්තේ.

සමහරු කියනවා රවිගේ සිදුවීම ලූනු බිකක් කියලා. ලූනු බිකක්ද, මදටිය ඇටයක්ද, අබ ඇටයක්ද කියන එක නෙවෙයි ප්‍රශ්නෙ තියෙන්නේ. ප්‍රශ්නෙ තමයි මේ ඔක්කොම රටේ අහිංසක ජනතාවගේ මුදල්. ඒ මුදල් මැති ඇමැතිවරු ඔවුන්ගේ සාක්කුවලින් දාපු මුදල් නෙවෙයි.
මෙහිදී අදහස් දැක්වූ පරපුරක බලය සංවිධානයේ කැඳවුම්කරු චාමර නාකන්දල,

ඒ වගේම තමයි රටේ අග්‍රාමාත්‍යවරයාගේ හැසිරීම ගැන අපි කනගාටු වෙනවා. ඔහුට පාර්ලිමේන්තුවේ හැසිරෙන්න තේරෙන්නෙ නැහැ. හිනාවෙනවා, උඩපනිනවා, කැරකෙනවා. ලංකා ඉතිහාසයේ විහිළු සහගතම අගමැතිවරයා තමයි ඔහු.

ඒ වගේම තමයි මහින්ද රාජපක්ෂට උදේ කියපු එක දවල් මතක නැහැ. දවල් කියපු එක රෑ මතක නැහැ. මොනවද මේ ඔහුගේ හතරබීරි කතා. කුරුණෑගල ජනතාව ලැජ්ජ වෙන්න ඕනි ඔහුට ඡන්දෙ දීපු එකට. මේ රටේ හිටපු අන්ත තක්කඩිම නායකයා තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ. හැබැයි අපේ රටේ සමහර මිනිසුන්ට තවම මොළේ නැහැ. උදේ කියපු එක සවස වෙනස් කරන මිනිහට ආපහු බලය අරගෙන දෙන්න හදනවා.

උදයන්ති මුණසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්