පොලිස් නිලධාරීන් සාක්ෂි දෙන්න එන්නෙ නැත්නම් විත්තිකරුවන් නිදහස් කරන්න වෙනවා

  👤  3840 readers have read this article !
By mawbima 2017-08-11

තල්පිටිය _ කහපොළගේ එස්. ප්‍රනාන්දු

අධිකරණය හමුවේ විභාගයට ගන්නා අපරාධ මත්කුඩු හෝ වෙනත් සොරකම් පිළිබඳ නඩුවල පැමිණිලි වෙනුවෙන් සාක්ෂි දීමට අධිකරණයට අදාළ පොලිස් නිලධාරීන් නොපැමිණෙන්නේ නම් නඩු කපා හැර විත්තිකරුවන් නිදහස් කිරීමට සිදුවන්නේ යැයි පානදුර අතිරේක මහෙස්ත්‍රාත් කල්හාරි ලියනගේ මහත්මිය විවෘත අධිකරණයේදී පවසමින් පොලිස් නිලධාරීන් වෙත අනතුරු ඇඟවීමක්ද කළාය.

මහෙස්ත්‍රාත්වරිය තවදුරටත් මෙසේ කීවාය.
නඩුවක් විභාග කිරීමට ගත් විට පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ඉදිරිපත් කිරීමට බොහෝ පොලිස් නිලධාරීන් අධිකරණයට පැමිණෙන්නේ නැත. අධිකරණයට ඉදිරිපත් නොවන පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තු පොලිසිය වෙත නිකුත් කළත් එම වරෙන්තු ක්‍රියාත්මක කිරීමට උසස් පොලිස් නිලධාරීන් ක්‍රියාත්මක වන්නේ නැත. එම නිසා වරෙන්තු නිකුත් කිරීමෙන්ද පලක් වන්නේ නැත. විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාරයේ තබන්නට හැමදාම අධිකරණයට බලයක් නැත. එම නිසා දැඩි ක්‍රියාමාර්ගයක් යථාකාලයේදී ගැනීමට සිදුවෙනවා යැයිද මහෙස්ත්‍රාත්වරිය පැවසුවාය.

පොලිසිය සිදුකරන්නේ සැකකරුවන් අල්ලාගෙන විත් චෝදනාවක් මත අධිකරණයේ නඩු පැවරීමයි. සමහර නඩුවලට නඩු භාණ්ඩවත් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කරන්නේ නැහැ. සැකකරුවන් අධිකරණය ලවා රක්ෂිත බන්ධනාගාර ගත කර ගන්නවා. නඩුව විභාගය සඳහා කැඳවූ දිනට අදාළ නඩුව සම්බන්ධයෙන් පැමිණිල්ලේ සාක්ෂි ඉදිරිපත් කිරීමට පොලිස් ලොක්කො අධිකරණයට පැමිණෙන්නෙ නැහැ. පොලිස් සැරයන්වරයකු හෝ පොලිස් කොස්තාපල්වරයෙක් නඩුව මෙහෙයවනවා. නඩුවේ පැමිණිල්ල මෙහෙයවීමට පවා පොලිස් ලොක්කෝ අධිකරණය හමුවට පැමිණෙන්නෙ නැහැ.

මේ තත්ත්වය යටතේ අධිකරණයේ නඩු විභාග කිරීම ඉතා අපහසු තත්ත්වයකට පත්ව තිබෙනවා. යථාකාලයේදී අදාළ නඩු කපා හැර විත්තිකරුවන් නිදහස් කිරීමට අධිකරණයට සිදුවෙනවා යැයි අතිරේක මහෙස්ත්‍රාත්වරිය තවදුරටත් පැවසුවාය.

මහෙස්ත්‍රාත්වරිය එසේ පැවසුවේ පානදුර දකුණු පොලිසිය විසින් විත්තිකරුවකුට පවරා ඇති නඩුවක් කැඳවූ අවස්ථාවේ ඒ පිළිබඳව පානදුර දකුණ පොලිසියේ සැරයන් ආනන්ද මහතාගෙන් කරුණු විමසීමේදී නඩුවේ සාක්ෂි දීමට අදාළ පොලිස් නිලධාරියා අධිකරණයට පැමිණ නැතැයි ඔහු පැවසීමෙන් අනතුරුවය.

මේ විධියට හැමදාම නඩු කල් දමන්නට බැහැ. විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන්නත් නොහැකි යැයි අදාළ නඩුව කල් දමමින් මහෙස්ත්‍රාත්වරිය පැවැසුවාය.
මත් කුඩු ළඟ තබා ගැනීම සම්බන්ධ චෝදනා ලැබ සිටි තරුණයන් 12 දෙනකු ලබන 23දා දක්වා මහෙස්ත්‍රාත්වරිය විසින් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළාය. ඔවුන් ළඟ තබාගත් මත්කුඩු සම්බන්ධ රස පරීක්ෂක වාර්තා රජයේ රස පරීක්ෂකයා විසින් අධිකරණයට ඉදිරිපත් කර නොමැති නිසා ඔවුන්ව රක්ෂිත බන්ධනාගාර ගත කළාය. රස පරීක්ෂක වාර්තා කලට වේලාවට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් නොලැබෙන නිසා සැකකරුවන්ට රක්ෂිත බන්ධනාගාර ගතවී සිටීමට සිදුවී තිබෙන බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්