පෙම්වතිය දියේ ගිල්වා ඝාතනය කළැයි හිටපු චීවරධාරියකු පෝරකේට

  👤  3981 readers have read this article !
By mawbima 2017-08-11

තල්පිටිය - කහපොලගේ එස්. ප්‍රනාන්දු
පානදුර - රේඛා පීරිස්

ඉංගිරිය නාච්චිමලේ ජලාශයේ තම පෙම්වතිය නිරුවත් කර දියේ ගිල්වා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරදකරු වූ හිටපු චීවරධාරියකු වූ ත්‍රිරෝද රථ රියැදුරකුට පානදුර පළාත් බද මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක ගුණතිලක මහත්මිය ඊයේ (10දා) මරණ දණ්ඩනය නියම කළාය. මෙසේ මරණ දණ්ඩනය නියම වූයේ පන්නිපිටියේ පදිංචිව සිටි හෙනේගෙම රත්නසිරි හිමි හෙවත් කොඩිතුවක්කු ආරච්චිගේ ප්‍රමිල සාරංග නමැති 34 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරුටය.
වර්ෂ 2010 මැයි මස 25 වැනිදා ඔහුගේ පෙම්වතිය යැයි කියන ඉංගිරියේ පදිංචි දෝන සුනේත්‍රා ප්‍රියදර්ශනී නමැත්තිය නිරුවත් කර ඉංගිරිය නාච්චිමලේ ජලාශයේ ගිල්වා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහු අධි චෝදනා ලැබ සිටියේය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරිය මෙසේ සඳහන් කළාය.

විත්තිකරු මහණදම් පිරූ පුද්ගලයෙක්. ඔහු පසුව සිවුරු අත්හැර කාන්තාවක් සමඟ අවුරුදු පහක් පමණ තදබල ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇත. පසුව ඇයගෙන් මුදල්ද ලබා ගෙන ප්‍රේම සම්බන්ධය අතහැර ඔහු කොරියාවට පලා ගොස් අවුරුදු දෙකකට පසුව ලංකාවට පැමිණ ඇත.
අනතුරුව නැවත ප්‍රේම සම්බන්ධය අලුත් කර ගෙන මේ තරුණිය සමඟ විවාහ වන බව ඇගේ මවුපියන්ට පොරොන්දු වී ඇත. මංගල්‍යයට අවශ්‍ය දේ මිලදී ගැනීමට යැයි පවසා ඇයව කොළඹට එක්කරගෙන ගොස් ඇත. පසුදින ඇයගේ මළසිරුර ඉංගිරිය පොලිසිය විසින් නාච්චිමලේ ජලාශයේ තිබී සොයාගෙන ඇත. මෙය සිදුවී ඇත්තේ වර්ෂ 2010 මැයි මස 25 වැනිදාය. අධිකරණ වෛද්‍යවරයාගේ සාක්කිය අනුව ඇයව දියේ ගිල්වා මරාදමා ඇති බව සනාථ විය. මේ නඩු විභාගයේදී මේ ඝාතනය සියැසින් දුටු සාක්කිකරුවන් ඉදිරිපත් නොකළද පර්යේෂණ සාක්කි කිහිපයක් අධිකරණය හමුවේ ඉදිරිපත් කෙරුණි.

මේ සාක්කි සහ අධිකරණ වෛද්‍යවරයාගේ සාක්කිය අනුව මේ ඝාතනය ගැන කරුණු අධිකරණය හමුවේ සනාථ වී ඇත්තේ විත්තිකරු මේ තරුණියගේ ඝාතනයට වගකිව යුතු බවය. මරණකාරියගේ ඇඳුම් නාච්චිමලේ ජලාශය අසබඩ ගස් බෙනයක සඟවා තිබී පොලිසියට හමුවී ඇත.

විත්තිකරු මෙසේ පැවැසීය. මා අවුරුදු 15දී පමණ පැවිදි වී කොළඹ සම්බුද්ධ ධර්ම ආයතනයේ සහ විදුදය සරසවියේ උසස් අධ්‍යාපනය ලැබුවා. පසුව මා ධර්මදූත කටයුතු සඳහා කොරියාවට වැඩම කළා. එහිදී ධර්මදේශනා පැවැත්තුවා. අනතුරුව මා දිවයිනට පැමිණ සිවුරු හැර ත්‍රිරෝද රථ රියැදුරකු වශයෙන් සේවය කළා. තරුණියක් සමඟ මා ප්‍රේම සම්බන්ධයක් පැවැත්තුවේ නැහැ. ඇයව දියේ ගිල්වා ඝාතනය කළේ නැහැ. ඇගේ ඝාතනය ගැන ඉංගිරිය පොලිසිය මා සැකපිට අත්අඩංගුවට ගත්තා. පසුව නඩු පැවැරුවා. මා අදාළ තරුණිය සමඟ ප්‍රේම සම්බන්ධයක් පැවැත්තුවේ නැති බව මා පොලිසියට කීවා. මා අධිචෝදනාවට නිවැරැදිකරු බව කියා සිටිනවා.

ඔහුගේ ප්‍රකාශය සටහන් කරගත් විනිසුරුවරිය ඔහුට මරණ දණ්ඩනය නියම කළාය. පැමිණිල්ල වෙනුවෙන් නඩුවේ සාක්කි මෙහෙයවන ලද්දේ රජයේ නීතිඥ කේ.වී. ඉන්දිකා මහත්මිය විසිනි. විත්තිකරු වෙනුවෙන් විශ්‍රාමික ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරුවන් වූ අයිරාංගනී පෙරේරා මහත්මිය සහ සිසිර රත්නායක මහතා පෙනී සිටිමින් දේශන ඉදිරිපත් කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්