සුදුවෑන් රථයකින් පැහැරගෙන ගිහින් ඝාතනය කළ චෝදනාව සනාථ කරන්න සාක්ෂි නොමැතිකමින් චූදිතයන් නි‍ෙදාස් කොට නිදහස්

  👤  3872 readers have read this article !
By mawbima 2017-08-11

හලාවත _ ඕස්ටින් ප්‍රැන්සිස්

සුදුවෑන් රථයකින් පැහැර ගෙන ගොස් පොලු පහර දී පුද්ගල ඝාතනයක් සිදු කිරීමේ චෝදනාව මත පවරා තිබූ නඩුවක පැමිණිලි පාර්ශ්වය මඟින් ඉදිරිපත් කළ සාක්ෂි චෝදනා සනාථ වන ලෙසින් ඉදිරිපත් නොකර තිබීම නිසා නඩුව විභාග කළ හලාවත මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර අමල් රණරාජ මහතා පෙරේදා (09දා) චූදිතයන් නි‍ෙදාස් කොට නිදහස් කර හැරියේය.

මෙසේ නි‍ෙදාස් කොට නිදහස් කර හැරියේ හලාවත රාජකදලුවේ පදිංචි විදාන පතිරන්නැහේලාගේ ඊවන් ලක්ෂ්මන්, විදාන පතිරන්නැහේලාගේ කමල් ප්‍රේමසිරි සහ වර්ණකුලසූරිය මර්සිලින් ප්‍රනාන්දු යන තිදෙනාය. මේ නඩුවේ පළමුවැනි විත්තිකරු ලෙස නම් කර තිබුණේ රාජකදලුවේ විසූ විදාන පතිරන්නැහේලාගේ විජේසේන නොහොත් සංගු මුදලාලි නමැති අයයි. නඩු විභාගය අතරතුර දී ඔහු මියගොස් තිබිණි.

1992 වසරේ අගෝස්තු මස 26 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී හලාවත අඹකඳවිල පළුගස්තැන්න වත්තේ විසූ වර්ණකුලසූරිය නික්ලස් ප්‍රනාන්දු (58) නමැති අයව පැහැරගෙන ගොස් ඝාතනය කිරීම, එම ක්‍රියාව කිරීමේ නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම යන චෝදනා යටතේ මේ නඩුව පවරා තිබිණි.

නඩුවේ චෝදනා පත්‍රය ඉදිරිපත් කළ අවස්ථාවේදී විත්තිකරුවන් තමන් නිවැරැදිකරුවන් බව පළ කළ නිසා සාක්ෂි විභාගය ආරම්භ විය. නඩුවේ සිදුවූ තවත් විශේෂ සිද්ධියක් වූයේ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් සාක්කි දීමට ඉදිරිපත් වූ රාජකදලුවේ පදිංචි ජයසිංහ ආරච්චිගේ ඇලෙක්සැන්ඩර් අප්පුහාමි නමැති අය බොරු සාක්ෂි දීමේ චෝදනාවට වරදකරු වීම නිසා එවකට නඩු විභාගය සිදු කළ මහාධිකරණ විනිසුරු මාලනි ගුණරත්න මහත්මිය ඔහුට බරපතළ වැඩ සහිතව වසරක සිර දඬුවමක් නියම කිරීමයි.

මේ නඩුවේ පළමුවන විත්තිකාර සංගු මුදලාලිගේ ඉතාලියේ සේවය කළ දියණියක විසින් මෙරට වෙසෙන ඇගේ දියණියට තිළිණ කිරීම පිණිස රන් මාලයක් හා රන් කුරුසියක් ද මුදල් තොගයක්ද අඩංගු කුඩා පාර්සලයක් මියගිය අය විසින් සොරා ගත්තේ යැයි සැකයෙන් එය ආපසු ලබාගැනීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වීමෙන් පසු විත්තිකරුවන් සුදු පැහැති වෑන් රථයකින් මියගිය අයගේ නිවෙසට ගොස් ඔහුව බලෙන් පැහැරගෙන ගොස් ආරච්චිකට්ටුව රාජකදලුව ස්වර්ණ ජයන්ති මාවතේදී ගිනිසීරියා පොලුවලින් අමානුෂික ලෙසින් පහරදී ඝාතනය කළ බවට පැමිණිලි පාර්ශ්වය සාක්ෂි ඉදිරිපත් කර තිබුණත් එම සාක්ෂි සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අපොහොසත් වූයෙන් මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන් නි‍ෙදාස් කොට නිදහස් කළේය.

රජයේ අධිනීතිඥ අග්බෝ පණ්ඩිතරත්න මහතා පැමිණිල්ල ඉදිරිපත් කළ අතර දෙවන සිවුවැනි විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ සමන්ත ප්‍රනාන්දු මහතා ද තෙවන විත්තිකරු වෙනුවෙන් නීතිඥ වරුණ වීරසූරිය මහතාද පෙනී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්