ඇමැති පාලිත රංගේ බණ්ඩාරට එරෙහි නඩුව සනාථ කරන්න හැකි දැයි සොයන්න මහාධිකරණය නීතිපතිට දන්වයි

  👤  3816 readers have read this article !
By mawbima 2017-08-11

කේ. එස්. උදයකුමාර්

සිය සුඛෝපභෝගී මෝටර් රථයේ බලපත්‍රය වසර 5කින් පවරා දෙන බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 54ක මුදලක් ලබාගෙන එය සාපරාධී සාවද්‍ය පරිහරණයක් සිදු කෙළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාට එරෙහිව ගොනුකර ඇති අධිචෝදනා පත්‍රය ඉදිරියට පවත්වා ගෙන යෑමට හැකියාවක් තිබේදැයි සොයා බලා කරුණු දැක්වීම සඳහා කොළඹ මහාධිකරණය නීතිපතිවරයාට කල් ලබාදුන්නේය.

අදාළ නඩුව පෙරේදා (09දා) කොළඹ මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර්. හෙයියන්තුඩුව මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා කරුණු දක්වමින් මේ අධිචෝදනා පත්‍රය පවත්වාගෙන යෑමට තරම් නීතිමය පදනමක් නොමැති හෙයින් මෙම චෝදනාවලින් විත්තිකරු නිදහස් කරන ලෙස විත්ති පාර්ශ්වය නීතිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙන බව ප්‍රකාශ කළේය.

එම ඉල්ලීම පිළිබඳ අධ්‍යයනය කර කරුණු ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන ලෙසද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව පැමිණිල්ල නොවැම්බර් මස 16 වැනිදා යළි කැඳවීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එදිනට මේ සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට නියෝග කළේය.

2002 වසරේ මාර්තු මස 22 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී සිය සුඛෝපභෝගී වාහනයේ බලපත්‍රය වසර 05කින් පවරා දෙන බව පවසා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 54ක මුදලක් ලබාගෙන එය සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාට එරෙහිව නීතිපතිවරයා මේ අධිචෝදනා පත්‍රය ගොනුකර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්