රවි ආණ්ඩුවේ බිලි බෝයි වෙලා

  👤  3838 readers have read this article !
By mawbima 2017-08-11

බැඳුම්කර වංචාව පිළිබඳ සමස්ත සිදුවීම රවි කරුණානායක මහතාගේ පිට දමා එම වංචනික ක්‍රියාවේ සුලමුල සදාකාලික රහසක් කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පවසයි.

ඊයේ (10දා) පාර්ලිමේන්තුවේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවැසුවේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද කීය.

ආණ්ඩුව බැඳුම්කර සිදුවීමෙන් රවි කරුණානායක ඇමැතිවරයාට විශාල පීඩනයක් එල්ල කරනවා ආණ්ඩුවේ කීර්තිනාමය ආරක්ෂා කරගැනීම සඳහා ආණ්ඩුවෙන් ඉවත් වෙන්න කියලා. අපිට තේරෙන විදියට රවි කරුණානායක මහතාව බිලි බෝයි කෙනෙක් කරගන්න තමයි ආණ්ඩුව උත්සාහ කරන්නේ.

ආණ්ඩුවේම ඇමැතිවරයෙක් බැඳුම්කර වංචාවෙන් සිදුවූ අලාභය ගැන රටට හෙළිදරව් කළා. ඔහු කිව්වේ අලාභය රුපියල් ටි්‍රලියනයක් කියලා. ටි්‍රලියනයක් කියන්නේ බිලියන 1,000ක්. මේ අලාභයෙන් කරුණානායක මහතාට අදාළව තිබෙන්නේ මිලියන 160ක් පමණයි. හැබැයි එය බැඳුම්කර වංචාවට සම්බන්ධ දෙයක් නෙවෙයි. එම වංචනිකයා සමඟ වූවා යැයි කියන ගනුදෙනුවක් පිළිබඳවයි. රාජිත සේනාරත්න ඇමැතිවරයාට අනුව එය ලූනු බිකක්. මේ ලූනු බික පෙන්වලා ලූනු පාත්තියේ හිමිකරු, ලූනු ගෝනිවල හිමිකරුවන්, ලූනු කන්ටේනර්වල හිමිකාරයන් සහ ගොවියෝ ටික ආරක්ෂා කරගන්න කටයුතු කරනවා.

සමස්ත බැඳුම්කර වංචාව දිහා බැලුවාම රවි කරුණානායක මහතාගේ මේ තියෙන පංගුව ලූනු බිකක් නෙවෙයි ලූනු සිවියක්. ඒ නිසා රටම මේ පිළිබඳ අවසාන හෙළිදරව්ව දක්වා අවදියෙන් සිටිය යුතුයි. මෙම කාරණාව ශ්‍රී ලංකා දේශපාලනයේ සුජාතභාවය අපේක්ෂා කරන හැම කෙනෙක්ගේම වගකීම.

මේ රටේ තියෙන ප්‍රශ්න පෙළ ගැස්වූ විට තිබෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි මැතිවරණ සිතියම හැකිළීම පිළිබඳ ප්‍රශ්නය. අද වනවිට පළාත් පාලන මැතිවරණය කල් දමලා අවුරුදු දෙකයි මාස දෙකයි දවස් දහයයි. මැතිවරණ කොමිසම මැතිවරණ, නිරීක්ෂණ සංවිධාන මේ පිළිබඳ නිහඬව සිටියා. දැන් වෙලා තියෙන්නේ ලබ්බට තියපු අත පුහුලටත් තියන්න යනවා. විසි වැනි සංශෝධනය හරහා පළාත් සභා මැතිවරණය කල් දමන්න හදන්නේ 2019 ඔක්තෝබර් දක්වා. ආණ්ඩුවේ මේ ක්‍රියාමාර්ගය පරාජයට පත් කළ යුතුයි. ඒකට ආණ්ඩුවේ තුනෙන් දෙක අහිමි කළ යුතුයි.

තුනෙන් දෙකෙන් මේ පනත සම්මත කරගන්න සහාය දෙන්න එපා කියලා අපි ආණ්ඩුවේ සිටින ශ්‍රී ලනිප සහෝදරයන්ගෙන් ඉල්ලා සිටිනවා.
ඒ වගේම අධිකරණ අමාත්‍යවරයා හැටියට විජයදාස රාජපක්ෂ මහතාගේ හෘද සාක්ෂිය දන්නවා අධිකරණයේ වරාය සම්බන්ධයෙන් නඩුවක් විභාග වෙද්දි ගිවිසුම් අස්සන් කිරීම නෛතිකව බරපතළ ප්‍රශ්න මතු කරන දෙයක් බව. අපේ ස්ථාවරයත් එයයි. විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා ඔහුගේ හෘද සාක්ෂිය කැබිනට් සාමූහිකත්වයට උඩින් තියලා තමයි ඒ පිළිබඳ ප්‍රකාශය සිදු කළේ. මේ පිළිබඳ අපගේ ගෞරවනීය ස්තුතිය ඔහුට පුද කරන්න ඕන.

පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන
2015 වත්මන් ආණ්ඩුව බලයට පත්වෙලා මාස තුනක් ඇතුළත දී මහ බැංකුවේ බැඳුම්කර වංචාව සිදුවීම පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය දිගින් දිගටම කරුණු හෙළිදරව් කළා. මෙම වංචාව වසා ගැනීමට දිගින් දිගටම අගමැතිවරයා ඇතුළු ඇමැති මණ්ඩලය පාර්ලිමේන්තුව තුළදී කතා කළා. බැඳුම්කර කොමිසම හමුවේ විදේශ කටයුතු අමාත්‍යවරයා පිළිබඳ සාක්ෂි ගණනාවක් මහ බැංකුවේ නිලධාරීන් සහ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ගනුදෙනු කළ අය හෙළි කරලා තියෙනවා.

අද මේ සත්‍ය තොරතුරු මත රටට මුහුණ දෙන්න බැරි ආණ්ඩුවක් බවට පත්ව තිබෙනවා. විශ්වාසභංගයට දින නියම කරන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ.

ඡායාරූප - මංජුල දයාවංශ
ඉෂාරා සිල්වා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්