අපි සංවර්ධන චක්‍රයක් ඇති කරනවා

  👤  3831 readers have read this article !
By mawbima 2017-08-11

මුදල් තිබූ පමණින් ධනවතකු වන්නේ නැහැ. බලය තිබුණාට ධනවතකු වන්නේ නැහැ. බුදුන් වදාළේ උගතකු වීමෙන් පසුව ධනවතකු වන බවය. මනස දියුණු කර ගැනීමෙන් ඒ අවස්ථාව අපට ලබාගත හැකියි" යනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ අනුව ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා ගෙන උසස් අධ්‍යාපනය සංවර්ධනය කිරීමටත් එහි ප්‍රතිලාභයෙන් ආර්ථිකය ශක්තිමත් කර එතුළින් උසස් අධ්‍යාපන පර්යේෂණ තව තව සීග්‍රයෙන් දියුණු කිරීමටත් අවස්ථාව ලැබෙන බව පවසන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී ලංකාව තුළ අධ්‍යාපනය ආයෝජනයන් සඳහා යොදවන ආයෝජනයන් අද්‍යාපනය සඳහා යොදවන "අලුත් සංවර්ධන චක්‍රයක්" ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් පැවසීය.
අගමැතිවරයා මේ බව පැවසුවේ ඊයේ (10දා) දින හෝමාගම දියගම ප්‍රදේශයේ ඉදිකරන ලද මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා,
අපිට තෙල්, යකඩ නැහැ. තේ ටිකක් විතරයි තියෙන්නේ. ඒ වුණාට අපේ රට දියුණුයි කියා විදේශිකයන් දන්නවා. මොකද අපේ රට තිබෙන්නේ ඉන්දියන් සාගරේ මැද, හොඳ අධ්‍යාපනය ලැබූ පිරිසක් සිටිනවා. ඉන්දියාව, පාකිස්තානය වාගේ දුප්පත් ප්‍රශ්නය අපිට නැහැ. ඒ කියන්නේ අපි උගත්කමින් ධනවත්කමක් උපයා ගෙන තිබෙනවා. උගත්කම තිබෙන්න ඕනේ ඒ හොයාගන්න ධනය තව තවත් වැඩිදියුණු කරගන්න. ඒ සඳහා අපිට පළමුවෙන්ම අවශ්‍ය වෙනවා ශක්තිමත් ආර්ථිකයක්. ඒ ආදායම් ධනය හොයන්න අවශ්‍යයි. ඒ ආදායමෙන් මේ වැඩ කටයුතුවලට, නිවාස ගොඩනඟන්න, සෞඛ්‍ය සඳහා, අධ්‍යාපනය සඳහා වියදම් කළ හැකියි. ශක්තිමත් ආර්ථිකයක් කියන්නේ ශක්තිමත් අධ්‍යාපනයක් තිබෙනවා කියන එකයි. අධ්‍යාපන ආයෝජනයන් වැඩි කිරීමට ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි.

අප මේ රට භාරගත් කාලය තුළදී විශාල ණය බරක් තිබුණා. එය ගෙවීමට අපේ ආදායම මදි වුණා. විශ්වවිද්‍යාල, පාසල්, රෝහල්වලට වියදම් කරන්න ණය ගත්තා. ණය ගත්තාම දෙන්න තිබූ මුදල් ප්‍රමාණය අඩු වුණා. ආදායම වැඩිවීම තුළින් අපට දැන් ඒවායෙන් ණය ගෙවන්න පුළුවන්කම ලැබෙනවා.

අපි බලාපොරොත්තු වුණේ ණය අරගෙන අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කිරීමටයි. අපේ අරමුණ වන්නේ අධ්‍යාපනය වෙනුවෙන් 6% ක් දළ දේශීය ආදායමෙන් වෙන් කිරීමයි. එය කළ හැක්කේ ආර්ථිකය ශක්තිමත් නම් පමණි. ලබන වසර අපට අමාරු කාලයක් වේවි. වැඩියෙන්ම ණය ගෙවන්න තියෙන්නේ 2018, 2019 වසර වලදීයි. 2018 දී අපි අලුත් අධ්‍යාපන වැඩසටහන් රැසක් කරනවා. ලබන වසරේදී කොපමණ ප්‍රශ්න ආවත් සියලුම දෙනාට වසර 13 අධ්‍යාපනය අනිවාර්ය කිරීම ආරම්භ කරනවා.
විශ්වවිද්‍යාලවලට සමත් නොවන අයට උසස් මට්ටමේ ද්විතීයික පුහුණු පාඨමාලා ආරම්භ කරනවා. මේ රටේ දුර්වලම අංශය තමයි වෘත්තීය පුහුණුව හා රැකියා පුහුණුව. මෙය ක්‍රමානුකූලව කිරීමට රැකියා වෙළෙඳපොළට අවශ්‍ය පරිදි වෘත්තීය පුහුණුවක් ලබාදීමට කටයුතු කරනවා.

රටේ විශ්වවිද්‍යාල දියුණු කිරීමට පියවර ගන්නවා. රාජ්‍ය විශ්වවිද්‍යාල 15 ක් තිබෙනවා. ඇතැම් විශ්වවිද්‍යාල පිළිබඳව අපට සෑහීමකට පත්විය නොහැකියි. මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.

මොරටුව විශ්වවිද්‍යාලයේ දෙවැනි මණ්ඩපය බවට මෙම ආයතනය පත් කරන්න කියලා මම යෝජනා කරනවා. හැකිනම් මෙම ආයතනය තුළම එන්.ඩී.ටී. උපාධි පාඨමාලාවක් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසට උපකුලපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
මේ රටේ අද අවධානය යොමු වී තිබෙන්නේ වෛද්‍ය අධ්‍යාපනය සඳහායි. මාගේ අවධානය නම් යොමුවන්නේ ඉන්ජිනේරු අධ්‍යාපනයටයි. ඉන්ජිනේරු අධ්‍යාපනය නැතුව අපිට ඉදිරියට යන්න අමාරුයි. ශක්තිමත් ආරථිකයට මෙය අත්‍යවශ්‍යයි.

ඉදිරියේදී අපේ රටේ සිටින ලෝක ජනගහනය වැඩි වෙනවා. ඉන්දියාව ජනාකීර්ණ රට බවට පත්වෙනවා. ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය වැනි රටවල්වල අඩුම තරමේ 2050 දී මිලියන 500 ක වගේ ජනගහනය වැඩිවේවි. ලංකාවේ නම් උපරිමයෙන් ලක්ෂ 20ක් වැඩිවේවි. ඒ නිසා අපි තාක්ෂණයෙන් සන්නද්ධ විය යුතුයි. මේක හොඳ අවස්ථාවක් අපිට. අපි මේකට සූදානම් වෙමු. අපි තමයි වැඩිපුරම සේවක වැටුපක් ගෙවන රට. අප පළමුවෙන්ම තාක්ෂණික දැනුමෙන් ඉදිරියට යායුතු වෙනවා. ඉන්ජිනේරු ක්‍රමවේදයයි, තාක්ෂණ ක්‍රමවේදයයි එකට එකතු කළ යුතුයි. මේකට වෛද්‍ය විද්‍යාවත් අවශ්‍යයි. මේවා තුළ බෙදීමක් කළ නොහැකියි.
ඒ නිසා ඉදිරියේදී අපි සංවර්ධන චක්‍රයක් ඇති කරගමු. ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා උසස් අධ්‍යාපනය දියුණු කරලා ඒ තුළින් ආර්ථිකය දියුණු කරලා එම ආර්ථික දියුණුව අධ්‍යාපනය පර්යේෂණවලට යොමු කරන සංවර්ධන චක්‍රයක් ඇති කරගනිමු.

ත්‍යාගා ශ්‍රීමාලි බණ්ඩාර
ඡායා - තිළිණ ප්‍රනාන්දු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්