ජාත්‍යන්තරය දිනාගත් අපිට ණය බරින් නිදහස් වීමට මාර්ගය පෑදිලා

  👤  3938 readers have read this article !
By mawbima 2017-08-11

ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවට බලපෑ අහිතකර තත්ත්වයන් මඟ හරවා ගැනීමට පසුගිය වසර දෙකහමාර තුළ වත්මන් ආණ්ඩුවට හැකිවූ බවත්, විදේශ වත්කම් ඉහළ නංවා ගැනීමට මෙන්ම විදේශ ණය බරින් නිදහස් වීමට ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගවල සාර්ථක ප්‍රතිඵල මේ වන විට පෙනෙන්නට තිබෙන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ජනාධිපති සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ චීන _ ශ්‍රී ලංකා තානාපති සබඳතාවලට හැට වසරක් පිරීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති විද්වත් හමුව අමතමිනි.
චීන _ ශ්‍රී ලංකා තානාපති සබඳතාවලට හැට වසරක් පිරීම නිමිත්තෙන් පළ කරන ලද සමරු ග්‍රන්ථය ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමයේ සභාපති අමරදාස ගුණවර්ධන මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.

චීන _ ශ්‍රී ලංකා තානාපති සබ¼දතාවලට හැට වසරක් පිරීම නිමිත්තෙන් පවත්වන ලද තරගවල ජයග්‍රාහක සිසු සිසුවියන්ට තිළිණ ප්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදුවිය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
ගෙවී ගිය වසර දෙකහමාරක කාලය තුළ අපේ රජය යටතේ ඒ තිබුණු තත්ත්වයන්හි වෙනස්කම් ඇති කර ගනිමින් අපි යහපත් තත්ත්වයකට මේ රට විදේශ වත්කම්, විදේශ ණය බරින් ගොඩ ඒමට ගත් ක්‍රියා මාර්ගවල සාර්ථකත්වයක් තිබෙනවා. මෙහිදී චීනය වගේම ලෝකයේ අනිකුත් මිත්‍ර බලවත් රාජ්‍යයන්, ආර්ථික වශයෙන් ශක්තිමත් රාජ්‍යයන්, තාක්ෂණික වශයෙන් ලෝකයේ විවිධ හැකියාවන් දස්කම් පෙන්නුම් කරන විශේෂඥයන්ගේ ප්‍රවීණයන්ගේ සහ විද්වතුන්ගේ සහයෝගය අපට ඉතාමත් අත්‍යවශ්‍ය වී තිබෙනවා. අපේ විදේශ ප්‍රතිපත්තිය රටේ ස්වාධීනත්වය, රටේ ස්වෛරීත්වය ආරක්ෂා කර ගැනීම බවට පත් කර තිබෙනවා.

රටක් දියුණු කරන්න දර්ශනයක්, ප්‍රතිපත්තියක්, සැලසුමක් තිබෙන්නේ ඕනෑ. ප්‍රතිපත්ති, දර්ශනය, සැලසුම් සමඟ ඒ රටේ ජීවත් වන්නා වූ ජනතාවගේ දැනුම, ආත්මශක්තිය, ධෛර්යය, කැපවීම, ආත්ම අධිෂ්ඨානය තියෙන්නට ඕනෑ දියුණු වෙන්න. අද ඔබේත් මගේත් මාතෘභූමිය ලෝකයේ සමෘද්ධිමත්, ශක්තිමත් ආර්ථිකයක් සහිත ප්‍රබල ජාතියක් විදියට ගොඩනැඟෙන්නට අපේ රජය කරන්නාවූ මෙහෙවර ඒ මූලික කාරණා මතයි අපි සිදු කරන්නේ. ඒ නිසා මෙහිදී අපිට චීනය අපේ මිත්‍රයෙක් විදියට අපි සමඟ දීර්ඝකාලීන ඓතිහාසික සබ¼දතා ශක්තිමත් කරමින් මෑත යුගයේ වසර හැටක රාජ්‍යතාන්ත්‍රික ද්විපාර්ශ්වික සබඳතා සමඟ අපි කරගෙන ආ වැඩපිළිවෙළ වඩාත් යහපත් වූ සුබවාදී තත්ත්වකයි. අද පවතින්නේ.

අද අපි වසර 60ක මිත්‍රත්වයේ ද්විපාර්ශ්වික සබ¼දතා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්වීම පිළිබඳව කතා කරන මේ අවස්ථාවේ වඩාත්ම සිහියට නැඟිය යුතුයි අපේ රටේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සමඟ කළ යුද්ධයේදී මේ රට ඒකීය රටක් බවට පත් කරන්න රට සාමකාමී කරන්න අපිට ජාත්‍යන්තර වශයෙන් ලැබුණු ආධාරවලදී මූලික වශයෙන් චීන රජය සහ ජනතාව අපට ලබාදුන් සහයෝගය අපට අමතක කරන්න පුළුවන්කමක් නැහැ.

මෑත භාගයේ දැඩි ලෙස විවේචනයට සහ ප්‍රශ්න සහගතව සාකච්ඡාවට ලක් වූ චීන ආයෝජනයන් ස¼දහා වූ හම්බන්තොට වරාය පිළිබඳව ප්‍රශ්නයේදී ඇති කර ගත් ගිවිසුම තුළ මූලික වශයෙන්ම ඇති වූ විවිධ ගැටලු සහ ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට පුළුවන්කම ලැබුණා. වර්තමාන රජය විදියට මේ සඳහා කටයුතු කිරීමේදී අපිට එල්ල වූ චෝදනාවලදී අපි ඉතාම පැහැදිලිව සඳහන් කළ යුතුව තිබෙනවා. චීනය සමඟ මේ ආයෝජනය සම්බන්ධයෙන් මූලික අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුමත කරගෙන තිබෙන්නේ 2014 සැප්තැම්බර් මාසේ 04 වැනිදා මම ජනාධිපතිවරයා වීමට මාස 04කට පමණ පෙර. ඒ බව විශේෂයෙන්ම සිහිපත් කළ යුතු වෙනවා. 2014 සැප්තැම්බර් 14 වැනිදා ඒ අමාත්‍ය මණ්ඩල සන්දේශය එවකට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරලා තමයි මේ ආයෝජනය සඳහා මූලිකත්වය අරගෙන තිබෙන්නේ. ඒ වගේම මම ජනාධිපති ධුරයට පත් වුණාට පසුව අපේ රජය විදියට මේ සංවර්ධන ආයෝජනය සමඟ දෙරට සමඟ සාකච්ඡා ආරම්භ කළා. සාකච්ඡා ආරම්භයේදී අපිට එකඟ විය නොහැකි කරුණු තිබුණා. මම ඒක බොහොම පැහැදිලිව කියන්නට ඕනෑ. නමුත් අපි ආයෝජකයන් සමඟ රජය සමඟ සාකච්ඡා කරලා අපිට නොගැළපෙන දේවල් වෙනස් කර ගත්තා. අපේ ආර්ථික වෙළෙඳ සබ¼දතා ශක්තිමත් කර ගැනීමත් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමත් අපේ ආයෝජන රටේ සංවර්ධනය සඳහා ලබා ගැනීමේදී රටේ ස්වාධීනත්වයට හානියක් නොවන ආකාරයට ලබා ගැනීමේ ප්‍රතිපත්තිය තුළ තමයි චීනය සමඟ ඒ ගිවිසුමේ අවශ්‍ය සංශෝධන අපි විසින් සිදු කරනු ලැබුවේ.

අමාත්‍ය මණ්ඩලයට, මගේ රජයේ නියෝජිතයන්ට මම පැහැදිලිව කියා සිටියා මෙම ආයෝජන පමණක් නොවෙයි ලෝකයේ ඕනෑම රටක් සමඟ, ඕනෑම ව්‍යාපාරික ආයතනයක් සමඟ කරන්නා වූ ආයෝජනවලදී ඒ ආයෝජනය සඳහා අවශ්‍ය ඉඩම්, භාවිතයට ලබාදෙනු විනා කිසිවිටෙකත් භූමියේ අයිතිය බිම් අඟලකින්වත් ලෝකයේ කිසිදු රටකට ගිවිසුමකින් ලබා නොදෙන බව ගිවිසුමේ ඇතුළත් කළ යුතුයි කියන එක. ඒ කාරණාව ඒ ආකාරයෙන්ම හම්බන්තොට වරායේ ගිවිසුමටත් ඇතුළත් කරලා තිබෙනවා. මම මේ කාරණාව ඉතා පැහැදිලිව කියන්නේ මේ පිළිබඳව ඉතා වැරැදි අර්ථකථනයන්, විවේචනයන් ඒවගේම අසත්‍ය ප්‍රචාරයන් තියෙන නිසා.

අපිට පුළුවන්කම ලැබුණා කරුණු ඉදිරිපත් කරලා සාකච්ඡා කරලා සංවාදශීලීව ගිවිසුමේ ගැටලු නිරාකරණය කරගන්න. ඒ පිළිබඳව මම ඉතාමත් සතුටු වෙනවා. ඒ වගේම අපි බොහෝම පැහැදිලිව සඳහන් කළා අවශ්‍ය වුණොත් අදාළ සංශෝධනවලට යටත්ව මේ ගිවිසුමට එකඟතාවන් ඇති කර ගන්න කියලා.

පහන් විජේසේකර
ඡායා - තිළිණ ප්‍රනාන්දු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්