රාජපක්ෂ ආණ්ඩුවේ දූෂණ වංචා සොයන්න නීතිපති දෙපාර්තමේන්තුවට උනන්දුවක් නැහැ

  👤  3974 readers have read this article !
By mawbima 2017-08-11

නීතිපති දෙපාර්තමේන්තුවට වත්මන් රජයේ මැති ඇමැතිවරුන් පිළිබඳ පරීක්ෂණ කිරීමට තිබෙන කාර්යක්ෂම බව පසුගිය රජයේ මැති ඇමැතිවරුන්ගේ දූෂණ වංචා චෝදනා සෙවීමට නොමැති බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

ඔහු එසේ ප්‍රකාශ කළේ ඊයේ (10දා) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය. එහිදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නවලට අමාත්‍යවරයා මෙසේද පිළිතුරු දුන්නේය.

මත්තල ගුවන් තොටුපොළේ මෙහෙයුම් සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයට දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. එහි ඉදිරි කටයුතු සිදුවන්නේ කෙසේද?
ඒ සඳහා කමිටුවක් පත් කළා. ලැබෙන යෝජනා එහිදී සලකා බලනවා.

ඉන්දියන් සමාගමකට මත්තල ගුවන්තොටුපළ දීමට තීරණයක් ගෙන තිබේද?
නැහැ.

ඉන්දියාවෙන් යෝජනාවක් ඇවිත් තිබේද?
එහෙම එකක් ඊයේ නම් සඳහන් වුණේ නැහැ.
ඒත් කැබිනට් තීරණ පිළිබඳ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ලබා දුන් ලිපියෙහි එසේ දැක්වෙනව නේද?
තියෙනවා. වෙනත් යෝජනාත් සලකා බැලෙනවා.

චීනයට වරාය දීපු එක තුලනය කරන්නද ඉන්දියාවට මත්තල දෙන්නෙ?
එහෙම නැහැ. ජපානයෙන් ආවොත් ඒකත් සලකා බලනවා.

රවි කරුණානායක මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි කියල ඔබ හිතනවාද?
මෙහෙමයි. මාධ්‍ය ඇතුළු අනෙකුත් දේවලින් එතුමා දැන් වැරදිකාරය කරලා ඉවරයිනෙ. මෙවැනි තත්ත්වයක් ඇති වුණාම යම් තීන්දුවක් ගත යුතුයි. මොකද රජයටත් පක්ෂයටත් ඇති බලපෑම මත. අපේ රජය විතරයි එහෙම කරන්නෙ. තිලක් මාරපන මීට පෙර ඉල්ලා අස්වුණා. ඉදිරියට තවත් මෙවැනි දේවල් දැක ගත හැකියි. මීට පෙර කවදාවත් ඉල්ලලා අස්වුණේ නැහැනෙ.

චෝදනා තිබෙන තවත් ඇමැතිවරු ඉන්නවාද?
චෝදනා කරල පත්තරවල ලියන තරමට අස්වෙන්න ගියොත් කැබිනට් එකක් තියෙන්නෙ නැහැ. කාටද චෝදනා ඉදිරිපත් නොකරන්නෙ? ඒත් ඒ චෝදනා සනාථ කරන්න එපායැ.

කැබිනට් මණ්ඩලයේදී රවි කරුණානායක මහතා සම්බන්ධව සාකච්ඡා වුණාද?
කැබිනට් මණ්ඩලයේදී බැඳුම්කර ජනාධිපති කොමිසම ගැන නම් කතා කළා. ඊට වඩා වෙන දෙයක් සිදු වුණේ නැහැ.
කොමිසම ගැන මොනවද කතා වුණේ?

මම ඇහුවා කොමිසමේ කාර්යභාරය මොකක්ද කියලා. කොමිසමේ කාර්යභාරය බැඳුම්කර ගනුදෙනුව ගැන සෙවීම බවට පත්වෙලා. බැඳුම්කර වංචාවක් කියන්නෙ මොකක්ද කියලා මටවත් තේරෙන්නෙ නැහැ. මම ආර්ථික විශේෂඥයන්ගෙන් ඒ ගැන ඇසුවා. ඒ සම්බන්ධව දැනුමක් තිබෙන්නේ මහ බැංකුවට සම්බන්ධව ඒ ගැන කටයුතු කරන අයට බව ඒ ආර්ථික විශේෂඥයා කිව්වා. එවැනි බොහොම සංයුක්ත දෙයක් පිළිබඳව විමර්ශනයට තමයි ජනාධිපති කොමිසම පත්කළේ. මේ සඳහා අවශ්‍ය නම් ජාත්‍යන්තර විශේෂඥයන් පවා කැඳවලා හෝ ලොකු විමර්ශනයක් කළ හැකියි. මං ඇහුව මේ කරන විමර්ශන මොනවද කියලා. මේ තියෙන්නෙ ඒකට සම්බන්ධ පාර්ශ්වකරුවන් කියල හිතන කට්ටිය සහ ඔවුන්ගේ මිතුරන්ගේ නිවාස ගැනයි. ටෙලිෆෝන් ගැනයි. ටෙලිෆෝන්වලින් කතා කළ ඒවා හොයා ගත්තයි කියමුකො. ඒවගෙන් කොහොමද කියන්නෙ බැඳුම්කර ගනුදෙනුව හරිද. වැරදිද, වංචාවක් වුණාද කියලා. අපට ඕන බැඳුම්කර සිදුවීමට අදාළ උසස් තත්ත්වයෙන් විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කිරීමටයි. මේක උපදේශන මට්ටමේ විමර්ශන වාර්තාවක් මිසක් සාමාන්‍ය විමර්ශනයක් නොවෙයි. මේ ඇමැති ගැන මාස ගණනාවකින් හොයන්න නීතිපති දෙපාර්තමේන්තුවට පුළුවන් වුණා. ඒත් අවුරුදු දෙකක ඒවා නීතිපති දෙපාර්තමේන්තුවේ තියෙනවා. ලිපි ගොනු 82ක් දුන් බව එෆ්.සී.අයි.ඩී.ය කියනවා. ගෝඨාභයගෙ අස්සන හොයාගන්න අවුරුද්දක් තිස්සේම හැකි වී නැහැ. බැඳුම්කර කොමිසමේ දී රජයේ නීතිඥවරයකු රජයේ ඇමැතිගෙන් කරුණු විමසන විට ආවේගකාරීව හැසිරෙන්න එපා කියලා ඇයි කොමිසමේ කොමසාරිස්වරු කියන්නෙ? රජයේ නීතිපති ආවේගකාරී වෙන්න හේතුව කුමක්ද? මේවා ගැන හිතලා බලන්න කියලයි මම කිව්වෙ.

ඉතිං මේ ලෙස විමර්ශන කටයුතු සිදුවීම හොඳයි නේද?

රජයේ කොමිෂන් පත් කළේ මාධ්‍යට සාක්ෂි විමසන්න නොවෙයිනෙ. නැත්නම් මේ රජයටත් තිබුණනෙ ගිය රජය වගෙ කිසි දෙයකට පරීක්ෂණ නොපවත්වන්න. මේ පිළිබඳ පක්ෂ මට්ටමින් පරීක්ෂණයක් තිව්වා. මුදල් අමාත්‍යාංශය මඟින් පරීක්ෂණයක් කළා. කෝප් කමිටුව පරීක්ෂණ කළා. ජනාධිපති කොමිසම පත් කළා. මේ එකකටවත් රජය බලපෑම් කරන්නෙ නැහැ.

නීතිපති දෙපාර්තමේන්තුව පරීක්ෂණ මන්දගාමී ලෙස කරනවා නම් ඒවා ඉක්මන් කරවීම රජයේ වගකීමක්?

නීතිපති දෙපාර්තමේන්තුව දීර්ඝ කාලයක් ලිපි ගොනු රඳවා සිටීම ගැන අපට ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපි දිගින් දිගටම මතු කළා. මේ ආණ්ඩුවෙ වැරදි සෙවීම හොඳයි. ඒත් ගිය ආණ්ඩුවෙ ඒවා එකක්වත් හොයන්නෙ නැහැනෙ. එතන තමයි ප්‍රශ්නය තියෙන්නෙ. අලුත් ඒවා ඉක්මනින් හොයනවා. හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ සිදුවීමට දින 9කින් කරුණු ඉදිරිපත් කළා. චතුර සේනාරත්න මන්ත්‍රිවරයා පිළිබඳ දින 2න් ලිපි ගොනු ඉදිරිපත් කළා. නමුත් ගිය ආණ්ඩවෙ ඒවා තවම නීතිපති දෙපාර්තමේන්තුවෙ හිරවෙලා. ආණ්ඩුව මාරු වුණාට රජය මාරුවෙලා නැ.
ඔය කතාව අවුරුදු 5ම කියන්න වේවි.

එහෙමනම් සිද්ධ වෙන්න ඉඩ දෙන්නෙ නැහැ.
හම්බන්තොට වරාය විකිණීම වැරදි බව විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා කර තිබෙන ප්‍රකාශය ගැන ඔබේ අදහස කුමක්ද?

අපි නොයෙකුත් මතවල ඉන්නවා. නමුත් අවසානයේදී කැබිනට් තීන්දුවට යටත් වෙනවා. එයාට නීතිඥයෙක් වශයෙන් බද්දයි විකිණීමයි තේරෙන්නෙ නැත්නම් ඊට වඩා දෙයක් විශ්ලේෂණය කරන්නෙ කොහොමද?

අධිකරණයට ගොස් මේ ගිවිසුම ආපසු හරවන බව විජයදාස ඇමැතිවරයා කියා තිබෙනවා?
ගිහිල්ල පුළුවන් නම් හරවන්න කියන්න.

ඇයි ආණ්ඩුවෙ ඇමැතිවරයෙක් මේ වගේ අදහස් ප්‍රකාශ කරන්නෙ?

හැම පැත්තටම කතා කරන දයාන් ජයතිලකත් ඔය පුද්ගලය හොඳයි කියලා දැන් කියනවා. මාවෝ සේතුං කියලා තියෙනවා "සතුරා තමන් වර්ණනා කරනවා නම් තමන් වැරදි බව සිතන්න. සතුරා පහර ගසනවා නම් තමා නිවැරදි බව" කියනවා. අපි ඒ පාඩම ඉගෙන ගත යුතුයි.

කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම විජයදාස ඇමැතිවරයා කඩකොට තිබෙනව කියලා පිළිගන්නවාද?

පිළිගන්නවා.
ඒ ගැන කුමන ක්‍රියාමාර්ගයක්ද ගන්නේ
ඊළඟ කැබිනට් එකේදි කතා කරමු.

පළාත් සභාව මැතිවරණය කල් දමන්නෙ ඇයි?

අපේ මැතිවරණ ප්‍රකාශයේදී අපි කිව්වා මැතිවරණ එක් දිනකදී පවත්වලා දූෂණ වංචා නැති කරනව කියල. අවසානයටම විසුරුවා හරින පළාත් සභා කාලයෙන් පසුව මැතිවරණ පැවැත්වීමට අදහස් කරනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟදීම කල් අවසන් වන පළාත් සභා කාලයෙන් පසුව සියලු මැතිවරණ පවත්වන්න යෝජනා කොට තිබෙනවා. ඒ මතයත් වැදගත්. නමුත් නියමිත කාලය ඉක්මවා යන්න පෙර පළාත් සභා විසුරුවා හරින්න මධ්‍යම රජයට බැහැ.

බැඳුම්කර ගනුදෙනුවෙන් රුපියල් ටි්‍රලියනයක පාඩුවක් සිදුවූ බව ලක්ෂ්මන් යාපා ඇමැතිවරයා කියන කතාව ඇත්තද?

ඔය කියන්නෙ හිතන හිතන ගණන්. එයා ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි. නොදන්න ඒවා කතා කරලා වැඩක් නැහැ. මමත් තවම ඕක ගැන හොයනවා.

ශ්‍රී ලනිප හා එජාපය අතර බල අරගලය උස්සන්න වෙලාද?

නයි මුගටි වගේ මරා ගත්ත දෙගොල්ලක් දැන් කඹවලින් බැඳල වගේ එකතු කරලා තියෙනවා. එතකොට සමහරු බුරනවා. තාම ජාතික රජයක හැසිරිය යුත්තේ කෙසේද කියල තාම කට්ටිය දන්නෙ නැහැ.

දෙනගම ධම්මික රණවීර
ඡායාරූප _ තාරක බස්නායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්