යාපනයේ සුසාන භූමි ගැටලුව විසඳන්න පුළුවන් උතුරු පළාත් සභාවටයි

  👤  3835 readers have read this article !
By mawbima 2017-08-11

මුලතිව් - ශෂි කුමාර්

යාපනයේ පුතූර් ප්‍රදේශයේ මසකට ආසන්න කාලයක් පුරා සත්‍යග්‍රහයක යෙදී සිටින පිරිසකගේ සුසාන භූමිය පිළිබඳව ගැටලුව පිළිබඳව සාකච්ඡාවක් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පෙරේදා (9දා) දින පැවැත්විණි.

ජනාකීර්ණ ප්‍රදේශයක් මධ්‍යයේ පවත්වාගෙන යනු ලබන සුසාන භූමියක් නිසා එහි ආදාහනය කරනු ලබන මෘත දේහවලින් පිටවන දුමාරය හා දුර්ගන්ධයෙන් ප්‍රදේශවාසීන්ට ඉතා අහිතකර තත්ත්වයක් මතුවී ඇති බවටත් මේ සුසාන භූමිය පාලනය කරනු ලබන්නේ පෞද්ගලික සුසාන භූමි පාලන කමිටුවකින් වන බවට සත්‍යග්‍රහයේ නිරත වැසියෝ කියා සිටිති.

ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය නොතකා එය පවත්වාගෙන යෑම නිසා එයට උරණ වූ වැසියන් පිරිසක් සුසාන භූමියේ තාප්පය පසුගියදා කඩා ඇති අතර මේ හේතුවෙන් 30ක් පමණ දෙනාට බන්ධනාගාර ගත වීමට සිදු විය.

අධිකරණය මඟින් ලබා දුන් තීන්දුව වූයේ සුසාන භූමිය වටා උස තාප්පයක් ඉදිකරන ලෙසටත් අඩි 10ක් උස දුම් කවුළුවක් සහිත ගෑස් ආදාහනාගාරයක් ඉදිකිරීමටයි. එයට වියදම් වන රුපියල් මිලියන 7ක මුදල ආදාහනාගාර කමිටුව විසින් දැරිය යුතු වන බවත්ය.

මේ තීරණයට එකඟ නොවන ගම්වැසියන් පවසා සිටින්නේ සුසාන භූමිය එම ස්ථානයෙන් ඉවත් කළ යුතු බවත් ඊට ආසන්නයේ පිහිටා තිබෙන අක්කර හතරහමාරක පමණ විශාල භූමිය ඒ සියල්ලටම ප්‍රමාණවත් බවත්ය.

මේ ගැටලුව සම්බන්ධයෙන් උතුරු ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී උතුරු ආණ්ඩුකාරවරයා කියා සිටියේ සුසාන භූමි පරිපාලනය නීත්‍යනුකූලව අයිතිය වන්නේ පළාත් පාලන ආයතනවලට බවත් උද්ගත වී ඇති මේ ආරවුලට විසඳුම් ලබා දිය යුත්තේ පළාත් පාලන ආයතන එම කොමසාරිස් හා උතුරු පළාත් පාලන අමාත්‍යාංශ මඟින් බැවින් එම ගැටලුව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙසටයි. මේ අවස්ථාවට පළාත් පාලන කොමසාරිස් පැටි්‍රක් නිරන්ජන්, ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය සභා ලේකම්, ග්‍රාම සේවක නීතිඥ කදිරගාම නාදන් හා පුරවැසි සංගමයේ නායක සෝදුවේල් යන අය සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්