මනම්පිටිය රිය අනතුරු දෙකකින් දෙදෙනෙක් මරුට

  👤  3949 readers have read this article !
By mawbima 2017-08-11

පොළොන්නරුව - බණ්ඩාර මුදියන්සේ

මනම්පිටිය ප්‍රදේශයේ ඉකුත්දා (08දා) සවස සිදුවූ අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් තුවාල ලැබූ කාන්තාවක් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොළොන්නරුව පොලිසිය කියයි.

මනම්පිටිය ප්‍රදේශයට ඉකුත්දා (08දා) සවස ඇදහැලුණු මහ වැස්සත් සමඟ අරලගංවිල මනම්පිටිය මාර්ගයේ දකුණු පසින් පයින් ගමන් කරමින් සිටි පුද්ගලයකු එම පැත්තෙන්ම පැමිණි ලොරි රථයක ගැටීමෙන් පදිකයා එම ස්ථානයේ මියගිය බවත් නැඟෙනහිර මනම්පිටිය තිළිණ වෙළෙඳසල අසලදී මේ අනතුර ඉකුත්දා (08දා) සවස 5.50ට පමණ සිදුව ඇති බවත් පොලිසිය වැඩිදුරටත් පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ අංක 272, දළුකාන, මනම්පිටිය යන ලිපිනයේ පදිංචිව සිටි වික්‍රමාරච්චි විදානරාලලාගේ කුලරත්න වික්‍රමසිංහ (68) නමැත්තෙකි. දෙවැනි අනතුර එම අනතුර සිදුවූ ස්ථානයට මඳක් මෙපිටින් නිශ්ශංකමල්ල ප්‍රාථමික විදුහල අසලදී රාත්‍රි 7.30ට පමණ සිදුව ඇත. එම අනතුර සිදුව ඇත්තේ අසනීපයකට බෙහෙත් රැගෙන පොළොන්නරුවේ සිට ආපසු නිවෙස බලා යමින් සිටි යතුරුපැදියක ගමන් ගත් පුද්ගලයන් දෙදෙනකු ස්කැමල් රථයක බඳෙහි ගැටීමෙන් සිදුවූ අනතුරකි.
එයින් යතුරුපැදිකරු එම ස්ථානයේම මියගොස් සිටි බවත් පිටුපස වාඩිවී පැමිණි කාන්තාව තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ අංක 128, කාශ්‍යප පුර, බිම්පොකුණ ලිපිනයේ පදිංචි කේ. එම්. නන්දසේන (50) නම් පුද්ගලයෙකි.

සිද්ධි දෙකෙහිම අනතුරක් වළක්වා නොගැනීම නිසා සැකපිට ලොරි රථයෙත් ස්කැමල් රථයෙත් රියැදුරන් අත්අඩංගුවට ගත් බවත් පොළොන්නරුව මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන බවත් පොළොන්නරුව පොලිසිය කියයි.

සිද්ධි සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පොළොන්නරුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති මූ. පො. ප. එම්.එස්.එම්. ජරූල් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්