බිරියට පින් පිණිස වසර ‍ෙදාළහක් තිස්සේ වීදි සුනඛයන් සනසන පින්වතා

  👤  4265 readers have read this article !
By mawbima 2017-08-11

තිරිසනාත් මිනිසාත් අතර වෙනස හොඳහැටි හඳුනාගෙන කාත් කවුරුවත් නැතිව හා කටින් කතාකොට යමක් ඉල්ලාගත නොහැකිව කුසගින්නේ තැවෙන සුනඛයන් කුසගින්නෙන් මුදාලීම සඳහා තම නිවෙසේම ආහාර පිස ඒවා රැගෙන ගම වටා ඇවිද එම සතුන්ගේ කුසගින්න නිවන ඉතාම දුර්ලභ ගණයේ බෞද්ධ පින්වතකු පසුගියදා අපට හමුවිය.

ඔහු නමින් ජී.ඩී. සෝමවීර ජයනන්ද වන අතර පදිංචිය කිරිමැටියාන බෝතලේගම වේ. වසර ගණනක් ඉතාලියේ සේවයේ නිරතව සිටි ජයනන්ද මහතා තමන් උපයාගත් දෙයින් පවුලේ අය සමඟ යහතින් දිවි ගෙවමින් සිටියද ඔහුගේ සියලුම බලාපොරොත්තු සුන්කරමින් ඔහුගේ ආදරණීය බිරිය අකල් මරණයකට ගොදුරු විය. ඉතාලියේ ජීවත් වන කාලසීමාව තුළද තිරිසන් සතුන්ගේ කුසගින්න නිවාලීම තම දිවියේ එකම විනෝදාංශය කරගත් ඔහු ඉතාලියේ වෙසෙන ජනතාව හා හිතවතුන් එක්ව පස්තා හා අරලුපාන් කැබැලි අසුරාගත් ආහාර මලු රැගෙන ඉතාලියේ කතානියා නගරයේ ස්ථානයකට ගොස් එම ස්ථානයට එක්රොක්වන දහස් ගණනක පරවියන්ගේ කුසගින්න නිවාලීමට කාලය වෙන්කර තිබිණි.

තම ආදරණීය බිරියගේ අකල් මරණයෙන් පසු තමා සතු ධනයෙන් කොටසක් පවුලේ අවශ්‍යතා සඳහාත් තවත් කොටසක් ප්‍රදේශයේ ඒ ඒ තැන්වල අයාලේ ගොස් අනාථව අසරණව සිටින සුනඛයන්ගේ කුසගින්න නිවීමටත් ඔහු අදිටන් කරගත්තේ විශේෂයෙන්ම තම මියගිය ආදරණීය බිරියටත් තමා ඇතුළු පවුලටත් පින් අනුමෝදන් කිරීමේ පරම චේතනාවෙනි.

දිනකට සහල් කිලෝ 08ක පමණ බත් උයා ඊට සරිලන වෑන්ජනද සමඟ ඔහු තම යතුරුපැදියෙන් කිරිමැටියාන, කොස්වත්ත, තුලාවල, යක්දෙස්සාව, සිරිගම්පල යන ප්‍රදේශ කරා ගමන් ගන්නේ එම සුනඛයන්ට අවශ්‍ය බේත් හේත් යනාදියද අතැතිව යැයි කිවහොත් එය කිසිවකු විශ්වාස නොකරන්නකි. හොරි දා ශරීරය පුරා දද කුෂ්ඨ ඇතිව මොහු පැමිණෙන තෙක් බලා සිටින එම සුනඛයන් ඔහුව ආදරයෙන් පිළිගන්නා අන්දම දකින අයගේ දෙනෙත් කඳුළින් තෙත් කරවන සුලුය. අනාථ අසරණ සුනඛයන් 55 දෙදෙනකුට දිනපතාම ආහාර සපයන ඔහු ඔවුනට විස්කෝතු කිහිපයක්ද ලබාදෙන්නේ අතුරුපසක් ලෙසයි. තම ආදරණීය බිරිය වන ජී.ඩී. විනීතා අයිරාංගනී මහත්මිය මියගිය දින සිට මේ දක්වාම එනම් වසර 12ක පමණ කාලයක් වෙනත් රැකියාවක නිරත නොවී උදේ සවස මේ අයාලේ ගොස් සිටින සුනඛයන්ගේ කුස පුරා ආහාර සපයන මේ දුර්ලභ ගණයේ පින්වතා වන සෝමවීර ජයනන්ද මහතා අවසන් වරට මාධ්‍යයට කීවේ කටින් කතාකරගත නොහැකි දුක වේදනාව යමකුට පැවැසිය නොහැකිව තිරිසන් සතුන් ලෙස මොලොව බිහිවී ඇති එම සතුන්ටද කුසගින්න, දුක වේදනාව දැනෙන හෙයින් බුද්ධිමත් මිනිසකු ලෙසින් තමා ජීවතුන් අතර සිටිනතාක් කල් මෙම පුණ්‍ය කටයුත්ත කරන බවකි.

ලුණුවිල - රෝස් කොලින්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon