ජනවාරියේ ආණ්ඩුව පිහිටුවා පෙබරවාරියේ හොරාකෑම අරැඹුවා

  👤  3542 readers have read this article !
By mawbima 2017-08-10

නාස්තිය සහ දූෂණය පිළිබඳව මාධ්‍ය සන්දර්ශන පවත්වා ජනවාරි 08 වැනිදා බලය ලබාගත් යහපාලන ආණ්ඩුවට මේ වනවිට එම වචන දෙක භාවිත කිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
බැඳුම්කර වංචාව සිදුකර මේ රටේ දේශපාලනඥයන්ට 'හොරා' යන අන්වර්ථ නාමය ප්‍රකාශ කරන තැනට මේ ආණ්ඩුව වැඩකටයුතු සිදුකර ඇති බවද හෙතෙම කියා සිටියේය.

ඊයේ (09දා) බොරැල්ල එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව කීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් රඹුක්වැල්ල මහතා මෙසේද පැවැසීය.
2015 පැවැති ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ප්‍රමුඛ සන්ධානය පොරොන්දු විශාල ප්‍රමාණයක් දුන්නා. ප්‍රධානම පොරොන්දු දෙක තමයි දූෂණය සහ නාස්තිය අවසන් කිරීම.

ඔවුන්ගේ මාධ්‍ය සන්දර්ශනයට ජනතාව රැවටුණා. ඒ ගැන අපි ඔවුන්ට ‍ෙදාස් කියන්නේ නැහැ. අනිත් එක තමයි රූපවාහිනියේ පැය භාගයෙන් භාගයට ඇඩ් දැම්මා තමන්ගේ දරුවන් කුඩු සහ මත්ද්‍රව්‍යවලින් බේරාගන්න නම් හංසයට ඡන්දය දෙන්න කියලා.

දූෂණ වංචා ගැන සොයන්න පත් කළ එෆ්.සී.අයි.ඩී. එක කියන්නේ නීති විරෝධී ආයතනයක්. එහි කොටස්කරුවෙක් තමයි අනුර දිසානායක මහතා. ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා පරාජය වෙලා, 09 වැනිදා දිවුරුම්දීලා, 10 වැනිදා වැඩ පටන් අරන් ඊළඟ සතියේ කැබිනට් එක දිවුරුම් දුන්නා. ලංකාවේ මෙතෙක් වෙච්ච දැවැන්තම මූල්‍ය වංචාවට මුල පුරන්නේ පෙබරවාරි 27 වැනිදා කැබිනට් එක පත් කරලා සතියක් යන්නත් කලින්. හොරකම පටන් ගන්නවා. මෙය අහම්බයක් නොවේ.
ලංකා ඉතිහාසයේ එකම එක අවස්ථාවකයි මුදල් අමාත්‍යාංශයෙන් මහ බැංකුව ඉතාම ටික කාලයකට ඉවත්වෙලා තිබුණේ. අනිත් හැම කාලයකදීම මහ බැංකුව තිබුණේ මුදල් අමාත්‍යාංශය යටතේ. දින සියයේදීම මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් අගමැතිවරයා යටතට ගත්තා. ඒ වගේම ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පිටරටක පුරවැසියකු මහ බැංකුවේ අධිපති ධුරයට පත්කළා.

පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම ඔහුගේ බෑනාගේ. ඒ වගේම ඔහු බැඳුම්කර වැඩපිළිවෙළේ ප්‍රාථමික ගැනුම්කරුවෙක්. ඒ වෙද්දි ඔහුගේ ලාභය ඉතාම සුළු මුදලක්. රනිල් වික්‍රමසිංහ, අර්ජුන් මහේන්ද්‍රන්ව මහ බැංකු අධිපති පුටුවට ගෙනැල්ලා, මහ බැංකුව කිසිම අයිතියක් නැතුව තමන්ගේ යටතට පවරාගැනීම තුළින් පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම සමඟ තිබෙන සම්බන්ධය පැහැදිලි වෙනවා. වටපිටාවත් සමඟ සස¼දා බලන විට ඕනෑම කෙනකුට තේරෙනවා මෙය අහම්බයෙන් සිදු වූ දෙයක් නොවෙයි හිතාමතා වෙච්ච වැරැද්දක් කියලා.

මේ සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද්‍රන් සමඟ සාකච්ඡා කිරීමට ගිය කැබිනට් ඇමැතිවරු කවුද? මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, රවි කරුණානායක. මේ රටේ නියෝජ්‍ය මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කරනවා බැඳුම්කර ගනුදෙනුවේ මූල්‍ය පාඩුව මේ වනවිට ටි්‍රලියනයක් කියලා. ටි්‍රලියනයක් කියන්නේ බිලියන 1000ක්. හම්බන්තොට වරායෙන් ගන්නවා වගේ අට ගුණයක් ගන්න පුළුවන්. අර්ථ සාධක අරමුදල බංකොළොත් වෙන තැනටම ගෙනැල්ලා.
කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැඟිල්ලට අද බිලියන ගණනක් ගෙවලා. ලී බඩුවලට මිලියන 300, 400 පරිපූරක ඇස්තමේන්තු දානවා. ඒ නිසා දූෂණය සහ නාස්තිය කියන වචන සදාචාරාත්මකව භාවිත කරන්න මේ අයට අයිතියක් නැහැ.

රාජිත සේනාරත්න කියන විදියට මෙය ලූනු බිකක් තරමක දෙයක් කියන එක ඇත්ත. රටේ නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා ටි්‍රලියනයක් පාඩුයි කියලා. එහෙම බලද්දි ලූනු බිකක් තමයි. ඒ බිලියන 1000ටම වගකියන්න ඕන යහපාලන ආණ්ඩුව. ඒකාබද්ධ විපක්ෂය හැටියට අපි අපේ වගකීම ඉටු කළා. අපි කියා සිටියා තාවකාලිකව හෝ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම බැඳුම්කර ගනුදෙනුවලින් ඉවත් කරන්න කියලා. නමුත් එහෙම කළේ නැහැ. එදා එහෙම කළා නම් විගණකාධිපති කියපු බිලියන 1.7 පාඩුවෙන් නවත්වන්න තිබුණා. අද ජාතික සම්පත් විකුණන්න වෙලා තියෙන්නේ ඒ නිසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි පියල් නිශාන්ත මහතා,
රවිට පමණක් නොවෙයි යහපාලන ආණ්ඩුවේ ඉන්න සියලුම ඇමැතිවරුන්ට විරුද්ධව විශ්වාසභංග ගේනවා. තරුණයන් හැටියට රනිල් - මෛත්‍රි දෙපළගෙන් මීට වැඩිය ලොකු වෙනසක් අපි බලාපොරොත්තු වුණා. අසාර්ථක, වැඩබැරි ආණ්ඩුවක් හැටියටයි අපි මේ ආණ්ඩුව දකින්නේ.

ඉෂාරා සිල්වා
ඡායාරූප _ අකිල ජයවර්ධන

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon