උඩුවේ හිමියන්ට රට යන්න අවසර දෙයි

  👤  3414 readers have read this article !
By mawbima 2017-08-10

කේ.එස්. උදයකුමාර්

බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින උඩුවේ ධම්මාලෝක හිමියන්ට ධර්ම ප්‍රචාරක කටයුත්තක් සඳහා විදේශගත වීමට කොළඹ මහාධිකරණය පෙරේදා(08දා) අවසර ලබා දුන්නේය.

ඒ අනුව සැප්තැම්බර් මස 18 වැනිදා දක්වා කාලසීමාව තුළ දැනට පනවා තිබෙන විදෙස් ගමන් තහනම ඉවත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අධිකරණය භාරයේ රඳවාගෙන සිටින ධම්මාලෝක හිමියන්ගේ විදෙස් ගමන් බලපත්‍රය මුදා හැරීමටද නියෝග කළේය.

නාරාහේන්පිට ඇලන් මැතිනියාරාම විහාරස්ථානය තුළ බලපත්‍ර නොමැතිව අලි පැටවකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත හා පොදු දේපළ පනත යටතේ උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනුකර තිබිණි. පෙරේදා(08දා) මෝසමක් ගොනු කරමින් විත්තිකාර ධම්මාලෝක හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා වැඩම කරන මෙන් තම සේවාදායක හිමියන්ට රටවල් කිහිපයකින් ආරාධනා ලැබී ඇති බව කියා සිටියහ. ඒ සඳහා දැනට පනවා තිබෙන විදෙස් ගමන් තහනම ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද එම නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා ධම්මාලෝක හිමියන්ට විදේශගත වීමට අවසර ලබාදුන් අතර නඩු විභාගය සැප්තැම්බර් මස 18 වැනිදා පැවැත්වීමට නියම කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්