කුලී ගමනක මුවාවෙන් ගොස් වෑන් රථයක් පැහැර ගැනීම රියැදුරු මරා දැමූ විත්තිකරු ගස්

  👤  3460 readers have read this article !
By mawbima 2017-08-10

අනුරාධපුර -
මහේෂ් විජේසූරිය / ආනන්ද කරුණාදාස

වෑන් රථය පැහැර ගැනීම සඳහා කුලී ගමනක් යන මුවාවෙන් පැමිණ රියැදුරාගේ ගෙල මිරිකා මරා දමා රථය පැහැරගෙන ඔහුගේ සිරුර කැලෑවක වළ දැමූ බවට අධිචෝදනා ලැබ සිටි විත්තිකරුවන් දෙදෙනකු අතරින් අධිකරණය මඟහරිමින් සිටින පළමු විත්තිකරුට මරණ දඬුවම නියම කළ උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා දෙවැනි විත්තිකරු සියලුම චෝදනාවලින් නි‍ෙදාස් කොට නිදහස් කරන ලෙස පෙරේදා (08දා) නියෝග කළේය.

මනුෂ්‍ය ඝාතනයක් සිදුකර දැනට අධිකරණය මඟහරිමින් සිටින විත්තිකරු වහාම අත්අඩංගුවට ගෙන නියෝග ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස නියෝග කරමින් විනිසුරුවරයා විවෘත වරෙන්තු නිකුත් කළේය. මරණ දඬුවම නියම වූයේ මහනුවර කොස්ගොල්ල ජනපදයේ පදිංචි විල්ලෝඩ් ආරච්චිගේ මහින්ද කුමාර නමැති අයටය.
නඩුවේ දෙවැනි චූදිත වූ ඉහළ කන්හිදිගම කහටගස්දිගිලිය පදිංචි සුසන්ත හේරත් යන අය සියලුම චෝදනාවලින් නි‍ෙදාස් කර නිදහස් කරන ලෙස විනිසුරුවරයා නියෝග කළේය. වර්ෂ 2005 ජනවාරි මස 24 වන දින හෝ ඊට ආසන්න දිනකදී පළමු හා දෙවැනි විත්තිකරු එක්ව කුරුණෑගල පාර වතුවල කටුගම්පොළ පදිංචිව සිටි මුත්තු මොහොමඩ් නායිම් (44) නමැත්තාව ඝාතනය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබිණි.
විත්තිකරුවන් දෙදෙනා කුලී ගමනක් යෑම මුවාවෙන් කටුගස්තොට සිට වෑන් රථයකින් කහටගස්දිගිලිය නගරයට පැමිණ කන්හිදිගම මාර්ගයේ මුදුන්ගල ප්‍රදේශයේදී රියැදුරාගේ ගෙල සිරකර මරා දමා ඔහුගේ සිරුර එම ප්‍රදේශයේම වළ දමා පලාගොස් තිබියදී පොලිස් කණ්ඩායමක් මළ සිරුර සොයාගත් බව පැවැති මූලික නඩු විභාගයෙන් අනාවරණය විය.

විත්තිකරුවන් පැහැරගත් වෑන් රථය වවුනියාව ප්‍රදේශයට අලෙවි කිරීමට රැගෙන ගොස් ඇතත් එය අලෙවි කර ගැනීමට නොහැකි වූ අවස්ථාවේ වවුනියාව නගරයේ අතහැර දමා ගොස් තිබියදී සොයාගත් බවත් සැකකරුවන් අත්අඩංගුවට පත් වූ පසුව රියැදුරා මරා දමා වැළලීමට යොදාගත් උදැල්ලද පොලිසිය සොයා ගත් බව ද මූලික නඩු විභාගයේදී කියැවිණි.

මෙම නඩුවේ මූලික සාක්කි විභාගය අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයේදී සිදුකෙරුණු අතර වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර මහාධිකරණය වෙත යොමුකර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්