මහ වැසි සමඟ පතිත වූ අකුණ 14 වියැති දරුවා බිලිගනී

  👤  3576 readers have read this article !
By mawbima 2017-08-10

අනුරාධපුර _ මහේෂ් විජේසූරිය

පාසල් ගොස් නිවෙසට පැමිණ මිතුරන් කිහිපදෙනකු සමඟ නිවෙස ආසන්නයේ පිහිටි ඇන්ටනා බටය අසල සෙල්ලම් කරමින් සිටියදී වර්ෂාව සමඟ පතිත වූ අකුණු සැර වැදීමෙන් කම්පනයට පත්වී කැබිතිගොල්ලෑව රජයේ රෝහලට ඇතුළත් කළ 14 හැවිරිදි මුස්ලිම් ජාතික බාල වයස්කාර දරුවකු පෙරේදා (08දා) මියගොස් තිබේ.
කැබිතිගොල්ලෑව රජයේ රෝහලේදී මියගිය පාසල් සිසුවාගේ හදිසි මරණ පරීක්ෂණය කැබිතිගොල්ලෑව කොට්ඨාසයේ මුස්ලිම් මරණ පරීක්ෂක ඊබ්‍රාහිම් ලෙබ්බේ කාදර් මහතා විසින් පැවැත්වූ අතර අකුණු සැර හේතුවෙන් ඇතිවූ කම්පන තත්ත්වයෙන් දරුවා මියගොස් ඇති බවට නිගමනය කළේය.

අවාසනාවන්ත අයුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මුස්ලිම් ඇටවීරවැව අලුත් ගම්මානය කැබිතිගොල්ලෑව ලිපිනයේ පදිංචිව සිටි කැබිතිගොල්ලෑව ඇටවීරගොල්ලෑව මුස්ලිම් විද්‍යාලයේ අටවැනි ශේ‍ර්ණියේ ඉගෙනුම ලැබූ සබීර් මොහොමඩ් හුසේඩ් නමැති 14 වියැති දරුවෙකි. මරණයට පත්වූ දරුවා කලකට පසුව ප්‍රදේශයට ඇදහැලුණු වර්ෂාව අවස්ථාවේ තවත් මිතුරන් පිරිසක් සමඟ නිවෙසේ රූපවාහිනි ඇන්ටනා බටය හා වයරය තිබූ ස්ථානයේ සෙල්ලම් කරමින් සිට ඇති බව පැවැති මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.

ඔහු මිතුරන් සමඟ සෙල්ලම් කරමින් සිටියදී වර්ෂාව ඇද වැටීම නිසා අනෙක් දරුවන් මවුපියන් නිවෙස්වලට එන ලෙස අඬගැසීම නිසා නිවෙස්වලට ගොස් ඇති බවත් ඒ සමඟම අකුණු සැරය පත් වී මරණයට පත්වූ දරුවාට වැදී ඔහු වැසිකිළි වළ ආසන්නයට විසිවී ඇද වැටී සිටියදී මවුපියන් එක්ව ඔහු ප්‍රතිකාර සඳහා කැබිතිගොල්ලෑව රජයේ රෝහලට රැගෙන යන විටත් ඔහු මරණයට පත්වී ඇති බව වැඩිදුරටත් පැවැති මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.
කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් කොස්තාපල් සුබසිංහ (47716) මරණ සාක්ෂි මෙහෙයවනු ලැබීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon