රනිල්ගේ ගූගල් බැලූනයත් මහින්ද යවපු රොකට් වගෙයි

  👤  3500 readers have read this article !
By mawbima 2017-08-10

බැඳුම්කර වංචාවට අනුබල දුන් අගමැතිවරයා, මලික් සමරවික්‍රම ඇතුළු පිරිසක් ජනාධිපති කොමිසම ඉදිරියට කැඳවිය යුතු යැයි මහජන සභාවේ සභාපති උලපනේ සුමංගල හිමියෝ පැවැසූහ.
මහජන සභාව සංවිධානය කළ මාධ්‍ය හමුවක් ඊයේ (09දා) නාරාහේන්පිට, ධර්මායතනයේදී පැවැත්විණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උලපනේ සුමංගල හිමියෝ මෙසේ ද පැවැසූහ.

ලංකා ඉතිහාසයේ දැවැන්තම මූල්‍ය වංචාව මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවත් සමඟ සිදුවී තිබෙනවා. ඒත් එහි බරපතළකම බලධාරීන්ට දැනුණේ නැහැ. දැනුණත් නොදැනුණා වගේ සිටියාද කියන කාරණාව නිරාකරණය කර ගත යුතුයි.

ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කිරීමට වසර දෙකහමාරක් තිස්සේ මන්දගාමී වුණේ කුමන බලපෑමක් නිසාද කියල දැන් ජනාධිපති කොමිසම ඉදිරියේ හෙළි වෙමින් පවතිනවා. රජයේ ප්‍රධානතම ඇමැතිවරයෙක් සෘජුවම පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමෙන් යම් ප්‍රතිලාභයක් ගත් බව අනාවරණය වී තිබෙනවා. ශීලාචාර සමාජයක කිසියම් පුද්ගලයකුට මෙවැනි චෝදනාවක් ඉදිරිපත් වුණොත් තමන් නිවැරැදිනම් පරීක්ෂණවලට බාධාවක් නොවන ලෙස තනතුරුවලින් තාවකාලිකව ඉවත් විය යුතුයි. නමුත් මේ වනතුරුත් අදාළ ඇමැතිවරයා ඊට දක්වා ඇති ප්‍රතිචාරය පිළිබඳ සතුටු වෙන්න බැහැ.

රවි කරුණානායක මහතාගේ දියණියක් වෙබ් අඩවි ඔස්සේ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. තමන්ගේ පියාට පමණක් චෝදනා කරන්නේ ඇයි? ද කියලා ප්‍රශ්න කරන එම දියණිය තවත් පුද්ගලයෝ ඒ පිටුපස සිටිය හැකි බව කියා තිබෙනවා.
මහ බැංකු මගඩිය සිදුවන මොහොත වන විට අදාළ විෂය භාර ඇමැති ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා. මේ වගකීමෙන් බැහැර වෙන්න අගමැතිට අවකාශයක් නැහැ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂ සභාපති ලෙස මලික් සමරවික්‍රම, මහ බැංකු ගනුදෙනු පිළිබඳ නිල ගනුදෙනුවලට ඔහු ඇවිත් තිබෙන්නේ රටේ නීතිය උල්ලංඝනය කරමිනුයි.

මේ ගනුදෙනුවට සෘජුවම සම්බන්ධ අගමැතිවරයාගෙනුත්, මලික් සමරවික්‍රම ඇමැතිගෙනුත් ජනාධිපති කොමිසම විසින් ප්‍රශ්න කළ යුතුයි.
චීනයට හම්බන්තොට වරාය බදු දීලා ඩොලර් බිලියන 1.2ක් ගත් බව කියනවා. ඒත් බැඳුම්කර මගඩියෙන් අහිමි වූ මුදල වරාය විකුණා ලබා ගත් මුදලට වැඩියි.
ඩො. බිලයන 1.5 ක් ඒ වනවිට අහිමි වූ බවත් මේ වන විට එම මුදල ටි්‍රලියනයක් දක්වා වර්ධනය වී ඇති බව විගණකාධිපති වාර්තා කොට තිබෙනවා. අර්ජුන් ඇලෝසියස් හා ඇමැතිවරුන්, එක්ක කොල්ලකා තිබෙන මුදලෙන් වරාය දෙකක් ඉදිකළ හැකිව තිබුණා. ඒ මුදල් අය කිරීමටත්, වැරැදිකරුවන්ට දඬුවම් දීමටත් රජය අවතීර්ණ විය යුතුයි.
මහ මොළකාරයො කියමින් බලයට පැමිණි පිරිස රටේ ආර්ථිකය දිනෙන් දින ප්‍රපාතයට ඇද දමමින් තිබෙනවා. අගමැති යටතේ ආර්ථික කළමනාකරණ කමිටුවක් ක්‍රියාත්මක වුණා. ඉන් සිදු වුණේ රටේ දේවල් බදු දෙන එකත් විකුණන එකත් විතරයි. ඒක තේරුම් ගත්ත නිසා ජාතික ආර්ථික කවුන්සිලයක් පිහිටුවීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් තිබෙනවා. ඒත් ඒ යෝජනාවට අගමැතිවරයා එකඟද? විරුද්ධද? යන්න නොසඟවා හෙළි කළ යුතුයි.
පසුගිය වසර දෙකහමාර තුළ ගෙනඑන සංවර්ධන යෝජනා ක්‍රමවල අරමුණ ගජමිතුරන් පෝෂණය කිරීම පමණයි, රටේ සංවර්ධනය ඉන් බලාපොරොත්තු වී නැහැ.
තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ සභාපති මුන්දන් කනගේට රුපියල් ලක්ෂ හත හමාරක වැටුපක් ගෙනවා. මේ ආයතනය මඟින් කළ සියලුම ව්‍යාපෘති අසාර්ථකයි. ගූගල් බැලුන් ව්‍යාපෘතිය මහින්ද රාජපක්ෂ යුගයේ යවපු රොකට් වගේ අසාර්ථකයි. වයි-ෆයි නොමිලේ ගන්න තරුණ තරුණියො බලාපොරොත්තු වුණා. ඒ සියල්ල අසාර්ථක වුණත් එහි නිලධාරීන් නඩත්තුවට ලක්ෂ ගණන් වැය කරනවා.
පසුගිය වංචා සොයන්න ජනාධිපති කොමිෂන් සභා අවශ්‍ය බව හරීන් ප්‍රනාන්දු කියා තිබෙනවා. ඒත් එසේ කළ යුතු නැහැ. අල්ලස් කොමිසම, එෆ්.සී.අයි.ඩීය, බරපතළ වංචා සෙවීමේ ජනාධිපති කොමිසම වැනි ආයතන තිබෙනවා.

පසුගිය ආණ්ඩුව කාලයේ සිදු වූ වංචා, දූෂණ පැමිණිලි සිවිල් සංවිධාන ඇතුළු විවිධ ආයතන විසින් පැමිණිලි 700කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කළා. ඉන් පරීක්ෂණ අවසන් වූ ලිපි ගොනු 80කට වඩා නීතිපති ළඟ ගොඩ ගැසී තිබෙනවා.

හොරු අල්ලන්නට පැමිණි ආණ්ඩුව හොරු ඇල්ලුවේ නැහැ. හොරකුට දඬුවම් කළෙත් නැහැ. ඒ හොරුන්ට වඩා හොඳින් දැන් හොරකම් කරනවා. නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳ පැහැදිලි සැක මතු වෙනවා. පසුගිය ආණ්ඩු කාලයේ සිදු වූ වංචා දූෂණ පිළිබඳ ලිපි ගොනු එහි ගොඩගැසිලා.
රවි කරුණානායක ඇමැතිට විරුද්ධව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළේ මහින්දානන්ද, රෝහිත, නාමල් වැනි මන්ත්‍රිවරු පිරිසක්. ඔවුන්ට විරුද්ධවත් ප්‍රබල දූෂණ වංචා චෝදනා තිබෙනවා.

ලැසිල් ද සිල්වා මහතා.
ජාතික විගණන පනත දින 100 ආණ්ඩුව තුළ සම්මත කරන බව කිව්වත් ඒක කළේ නැහැ. අග්‍රාමාත්‍යවරයා මේක ගෙන එනවාට කැමැති නැහැ. විගණන පනත උඩු යටිකුරු කොට සංශෝධනය කළත් එකක්වත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැහැ. මුළු රජයම රෙදි නැතුව කටයුතු කරනවා. මුළු විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළොත් මේ ආණ්ඩුවට ඡන්දයකට ගොස් මහජන කැමැත්ත දිනාගන්න බැහැ.

දෙනගම - ධම්මික රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්