මීටර් 800 පිරිමි රන් පදක්කම ප්‍රංශයට නිමාලිගේ මීටර් 800 ඉසව්ව අද රාත්‍රියේ

  👤  3487 readers have read this article !
By mawbima 2017-08-10

එංගලන්තයේ ලන්ඩන්හි පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී තත්. 43.98ක කාලයක් සටහන් කරමින් මීටර් 400 පිරිමි ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් එම ඉසව්වේ වත්මන් ලෝක වාර්තාවට හිමිකම් කියන දකුණු අප්‍රිකාවේ වේඩ් වෑන් නීකර්ක් තමන් තවදුරටත් ලෝක ශූරයා බව ඔප්පු කර පෙන්වීය.

මීටර් 400 අවසන් පූර්ව තරගයේදී තත්. 44.28ක කාලයක් සටහන් කරමින් එම වටයේ හොඳම කාලය සටහන් කළ තරගකරුවන් අතර තෙවැනියා බවට පත්වුවද අවසන් තරගයේදී තම සුපුරුදු රිද්මයට පිවිසි මීටර් 400 වත්මන් ලෝක ශූරයා අප්‍රිකාවට හිමිවූ දෙවැනි රන් පදක්කමට දායකත්වය ලබා දුන්නේය. අවසන් පූර්ව තරගයේදී හොඳම කාලයක් (තත්.43.89) සටහන් කළ බහමාස්හී ස්ටීවන් ගාඩිනර්ට රිදී පදක්කම හිමිවූ අතර, කටාර්හි ඇබ්ඩලේලාට ලෝකඩ පදක්කම හිමිවිය.

මීටර් 800 පිරිමි ඉසව්වේදී වි.1:44.67ක කාලයක් සටහන් කරමින් එම ඉසව්වේ රන් පදක්කම දිනාගත් පියෙරි බොසේ පළමු රන් පදක්කම ප්‍රංශයට හිමිකර දුන් අතර, මෙම ඉසව්වේදී වාර්තා කළ කාලය මේ වාරයේදී ඔහු වාර්තා කළ හොඳම කාලය ලෙසද පත්විය. එහි රිදී පදක්කම පෝලන්තයටත්, ලෝකඩ පදක්කම කෙන්යාවටත් හිමිවී තිබිණි.

මේ අතර රිටි පැනීම පිරිමි තරගයේදී මීටර් 5.95ක දක්‍ෂතාවයක් පෙන්වූ ඇමෙරිකාවේ සෑම් කෙන්ඩ්‍රික්ස්ට රන් පදක්කමත්, මීටර් 5.89ක උසක් සටහන් කළ පෝලන්තයේ පියෝට් ලිසෙක්ට හා ප්‍රංශයේ රෙනවුඩ් ලැව්ලෙමීට පිළිවෙළින් රිදී හා ලෝකඩ පදක්කම් හිමිවූහ.

කෙසේ වෙතත් මෙම තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක-ක්‍රීඩකාවන් අතුරින් නිමාලි ලියනාරච්චි සහභාගි වන මීටර් 800 මූලික වටයේ තරගය අද (10දා) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 11.55ට පමණ ආරම්භවීමට නියමිතව ඇති අතර, වරුණ ලක්‍ෂාන් හෙට (11දා) ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 01.05ට පමණ හෙල්ල විසිකිරීමේ මූලික තරගයට පිවිසීමට නියමිතව ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්