බැඩ්මින්ටන් නිලවරණයට දින නියමවෙද්දී බලධාරීන් අපේක්‍ෂකයන්ට හැඳි දෙකකින් බෙදයි

  👤  3486 readers have read this article !
By mawbima 2017-08-10

එළැඹෙන අගෝස්තු 31 වැනිදා පෙරවරු 10.00 සිට ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නිලවරණයේ උප සභාපති තනතුරක් සඳහා නාමයෝජනා භාර දුන් හිටපු සභාපතිවරයකු වූ සුරාජ් දන්දෙණිය මහතාගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇති නමුත් ගියවර නාමයෝජනා ප්‍රතික්ෂේප වී මෙවර ලේකම් තනතුර සඳහා තරග වදින ක්ලැරන්ස් හෝමර් මහතාගේ නාමයෝජනාවට අනුමැතිය ලැබී තිබීමද විශේෂත්වයකි.

ඒ අනුව ලේකම් තනතුර සඳහා තරග වදිනු තැනැත්තා ක්‍රීඩා රෙගුලාසිවලට පටහැනි වන අයුරින් කටයුතු කරන බැවින් ඔහුගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කරන ලෙස පළාත් ක්‍රීඩා සංගම් කිහිපයකින්ම විරෝධතා මතු වී තිබුණද ඔහුට මෙවර නාම යෝජනා ලැබුණේ කුමන පදනමකින්ද යන්න බැඩ්මින්ටන් ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනකුගේ දැඩි දෝෂදර්ශනයට ලක්වී තිබේ.

මේ අතර මෙවර නිලවරණයේදී සභාපති තනතුර සඳහා තරග වැද සිටින නිශාන්ත ජයසිංහගේ පාර්ශ්වය සමඟ තරග කිරීමට බැඩ්මින්ටන් සංගමයේ හිටපු සභාපතිවරයකු මෙන්ම බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමයේ වත්මන් සභාපති ලෙස කටයුතු කරන රීසා ජුමාර් සභාපති තනතුරට ඉදිරිපත් වී ඇත. තවද රීසා ජුමාර්ගේ පාර්ශ්වයෙන් ලේකම් තනතුර සඳහා තරග වැද සිටින ක්‍රිස්ටෝපර් ගෝනවල මහතාගේද නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇති නමුත් ගියවර නාමයෝජනා ප්‍රතික්ෂේප වූ පරාක්‍රම බස්නායක මහතාගේ නාමයෝජනාවටද මෙවර අනුමැතිය හිමිවීම කැපී පෙනේ.

කෙසේ වුවත් මෙයට පෙර එනම් මාර්තු 24දා බැඩ්මින්ටන් නිලවරණයක් මේ වසරේදී පළමු වරට පැවැත්වුණද එය ක්‍රීඩා ඇමැතිගේ නියෝගයෙන් අත්හිටුවා තිබූ අතර, පසුව එය ජුනි 13දාට කල් තැබිණි. එහෙත් එදිනට බැඩ්මින්ටන් සංගමයට අදාළ විගණනය කරන ලද ගිණුම් වාර්තා සකස් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් එම නිලවරණය යළිත් දින දෙකක් පසුපසට එනම් ජුනි 15 වැනිදාට කල් තැබුවද එදිනද එය පැවැත්වීමට නොහැකි වී තිබිණි. එහෙත් තවත් සති දෙකකින් (ජුනි 15දා පසු) පමණ ගිණුම් වාර්තා ලබාදීමට හැකි වෙතැයි නිගමනය කරමින් ජූලි 11 වැනිදාට නිලවරණය පැවැත්වීමට අදහස් කරගෙන සිටියද විගණකාධිපතිවරයාගේ අනුමැතිය සඳහා යොමුකර තිබූ එකී ගිණුම් වාර්තා නොලැබීම හේතුවෙන් ජූලි 11 වැනිදාට කල් තැබූ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් නිලවරණය එම දිනයේදීද (ජූලි 11දා) පැවැත්වීමට නොහැකි විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්