ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයත් නොදන්නා අලුත් ව්‍යවස්ථාවක්

  👤  705 readers have read this article !
By mawbima 2018-06-13

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට රහසින්, වත්මන් ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ට අනාවරණය කළේය.

මෙය පරාජය කිරීම සඳහා ආණ්ඩුවට තිබෙන තුනෙන් දෙකේ බලය අහිමි කිරීමට පියවර ගත යුතු බවද හිටපු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

මේ අතර විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රතික්ෂේප කරමින් ඒකාබද්ධ විපක්ෂයේ සියලු පක්ෂ නායකයන්ගේ අස්සනින් යුතුව නිවේදනයක් නිකුත් කිරීමටද එම සාකච්ඡාවේදී තීරණය වූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා 'මව්බිම'ට පැවැසීය.

සෞඛ්‍ය ඇමැතිවරයා නිසි ආකාරයෙන් ක්‍රියාකර නොමැති නිසා දකුණු පළාතේ වසංගත රෝගය බස්නාහිර හා සබරගමු පළාත්වලටද ව්‍යාප්ත වී ඇති බව මෙම සාකච්ඡාවේදී හෙළි වූ බවද ගම්මන්පිල මන්ත්‍රිවරයා පැවැසීය.

බාල වර්ගයේ ඉන්හේලර් භාවිත කිරීම නිසා මෙම විසබීජය පැතිරී ඇති බව වෛද්‍යවරුන් විසින් කරුණු සොයාගෙන තිබෙන බවද ගම්මන්පිල මන්ත්‍රිවරයා සඳහන් කළේය.

රජයේ රෝහල්වල ඔෟෂධ නොමැති බවට ජනතාව මැසිවිලි නඟන බවත් මෙම සියලු කරුණු සලකා බලා නව සෞඛ්‍ය අමාත්‍යවරයෙක් පත්කිරීමට ආණ්ඩුවට බල කිරීමට මෙහිදී තීරණය වූ බව උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා සඳහන් කළේය.

මීට අමතරව ආණ්ඩුවට එරෙහි විරෝධතා ව්‍යාපාරය සංවිධානය කිරීමේ කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතාට යොමු කළ බවද ගම්මන්පිල මහතා සඳහන් කළේය.

කොළඹ හතේ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙසේදී ඊයේ (12දා) සවස 5.30 සිට රාත්‍රි 7.30 දක්වා මෙම සාකච්ඡාව පැවැත්විණි.

දිනේෂ් ගුණවර්ධන, කුමාර වෙල්ගම, බැසිල් රාජපක්ෂ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, කෙහෙලිය රඹුක්වැල්ල, මහින්ද යාපා අබේවර්ධන හා මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරු ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon