සිංහරාජේ සිටින අලි දෙදෙනා ඉවත් කරන්නට සැරසෙනවා

  👤  715 readers have read this article !
By mawbima 2018-06-13

සපුමල් ජයසේන

සිංහරාජ රක්ෂිත වනයේ සිටින අලි දෙදෙනා අල්ලා ඉවත් කිරීමට නිලධාරීන් කණ්ඩායමක් නම් කොට ඒ සඳහා වියදම ලෙසින් රුපියල් මිලියන දෙකක මුදලක් වෙන් කිරීමටද වනජීවී සංරක්ෂණ අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා කටයුතු කොට ඇතැයි සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ 'මව්බිම' අමතා ඊයේ (12දා) පැවැසූහ.

පරිසර සංවිධානවල විරෝධතාවන් ද නොසලකා හරිමින් ලෝක උරුම රක්ෂිතයක් වූ සිංහරාජ වැසි වනාන්තරයේ මේ වනවිට ඉතිරිව සිටින අවසන් අලි දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි අල්ලා හොරොව්පොතාන අලි රැඳවුම්ගාලට ගෙන යන ලෙස සරත් ෆොන්සේකා මහතා උපදෙස් දී ඇතැයි උන්වහන්සේ සඳහන් කරති.

සිංහරාජ රක්ෂිතය කපා එළිපෙහෙළි කරමින් එහි නීති විරෝධී ලෙස පදිංචිව සිටින පිරිසකගේ ඉල්ලීමකට ඇහුම්කන් දී වනජීවීන්ගේ සංරක්ෂණය වෙනුවෙන් පත්කොට ඇති ඇමැතිවරයා මෙම අලි දෙදෙනා අල්ලා වියළි කලාපීය පරිසරයක පිහිටුවා ඇති අලි රැඳවුම් ගාලක කොටුකර තැබීමට උපදෙස් දීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද ආනන්ද සාගර හිමියන් කියා සිටී.

තෙත් කලාපීය පරිසරයක විසූ අලි දෙදෙනා හොරොව්පොතාන අලි ගාලේ රඳවා තැබුවහොත් උන් මියයා හැකි බව උන්වහන්සේ පවසති. අලි ඇතුන් සම්බන්ධ විශේෂඥ වාර්තාවක් කැඳවීමකින් තොරව අලි දෙදෙනා ඇල්ලුවොත් එයට එරෙහිව අධිකරණයේ නඩු පවරන බව ආනන්ද සාගර හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon