රාජගිරිය ගුවන් පාලමේ අනතුරුදායක තත්ත්වයක් නෑ

  👤  789 readers have read this article !
By mawbima 2018-06-13

දෙනගම ධම්මික රණවීර

රාජගිරිය ගුවන් පාලමේ ආරක්ෂාව පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් හෝ අනතුරුදායක තත්ත්වයක් නොමැති බව මහාමාර්ග අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා පැවැසීය.

ඔහු එම අදහස් පළ කළේ ඊයේ (12දා) මහාමාර්ග අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින්ය. පේරාදෙණිය හා මොරටුව විශ්වවිද්‍යාල දෙකෙහි ඉන්ජිනේරුවන්ගේ මූලිකත්වයෙන් පසුගිය ඉරිදා (10දා) සිදුකරන ලද පරීක්ෂණයකදී ඒ බව තහවුරු වූ බවද පැවැසූ හෙතෙම ඊට වඩා දියුණු තාක්ෂණික ක්‍රමයක් ඔස්සේ පාලමෙහි ප්‍රමිතිය පිළිබඳ පරීක්ෂණ කළ හැකි බව කිසිවකු ප්‍රකාශ කරන්නේ නම් මහාමාර්ග අමාත්‍යාංශයේ වියදමින් එම පරීක්ෂණය කළ හැකි බවද කීවේය. මේ පරීක්ෂණය කිරීමේ තාක්ෂණික උපකරණ සවි කිරීම සඳහා විනාඩි තිහකට පමණ පාලම වසා දැමූ බවද කීවේය. එහෙත් එසේ වසා දැමුවේ පාලමෙහි අනතුරුදායක තත්ත්වයක් නිසා නොවන බවද හෙතෙම අවධාරණය කළේය.

රාජගිරිය ගුවන් පාලම ඉදි කළේ සුළු පැද්දීමක් අපේක්ෂාවෙන් බවත් එම අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වෙනසක් ඇතිද යන්න එම පරීක්ෂණවලදී සොයා බැලූ බවද නිහාල් සූරියාරච්චි මහතා පැවැසීය.

ගුවන් පාලමේ ආකෘතිය හා සංඛ්‍යානයන් පිළිබඳ දත්ත ලබා ගත් බව පැවැසූ හෙතෙම ඒ අනුව පාලමෙහි කිසිදු අනතුරුදායක තත්ත්වයක් නොමැති බවද සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් රෝහිත ස්වර්ණ මහතා මේ ගුවන් පාලමට වසර 100 -120 අතර වගකීම් කාලයක් ඇති බව පෙන්වා දුන්නේය. යකඩ පාලමක් පිළිබඳ තත්ත්ව පරීක්ෂාවක් කළ පළමු අවස්ථාව බවත් පාලම ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 4,600ක් වැයවූ බවත් කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon