හින්දු කටයුතුවලට මුස්ලිම් ඇමැති කෙනෙක්: ක්‍රිස්තියානි කටයුතුවලට බෞද්ධයෙක්

  👤  3648 readers have read this article !
By mawbima 2018-06-13

උපතිස්ස පෙරේරා

විශ්වවිද්‍යාලයක මුදල් අවභාවිත කිරීම පිළිබඳව චෝදනා එල්ලවූ අයකු එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමත්, හින්දු ආගමික කටයුතු සඳහා මුස්ලිම් නියෝජ්‍ය ඇමැතිවරයකු පත් කිරීමත්, ප්‍රශ්න සහගත බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සුරේෂ් වඩිවේල් මහතා සඳහන් කරයි.

"සිරිකොත" එජාප මූලස්ථානයේ ඊයේ (12දා) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මන්ත්‍රිවරයා "විශ්වවිද්‍යාලයක මුදල් අවභාවිතාව පිළිබඳව චෝදනා ලත් අයකු එජාප ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රිවරයකු ලෙස පත් කිරීම ප්‍රශ්නයක්. ඔහුට එරෙහිව පරීක්ෂණ පැවැත්වෙන බවත් දැනගන්නට ලැබුණා. පුද්ගලයා මම දැකලාවත් නැහැ. එවැනි අයකුට මන්ත්‍රි ධුරයක් දෙන විට නායකයන් හොඳින් සොයා බැලිය යුතුයි.

ඒවගේම හින්දු මන්ත්‍රිවරුන් සිටියදී හින්දු ආගමික නියෝජ්‍ය ඇමැති ලෙස මුස්ලිම් මන්ත්‍රිවරයකු පත්කිරීම එතුමාටත් ප්‍රශ්නයක්. එතුමාට නියෝජ්‍ය ඇමැති ධුරයක් පිරිනැමීම වෙනම දෙයක්. නමුත් මෙවැනි කරුණු හේතුවෙන් නැති ප්‍රශ්න ඇති වෙනවා. ඒ ගැන සොයා බලා කටයුතු කිරීම නායකයන්ගේ වගකීමක්" යැයිද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති ලෙසින් මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරනු ලබන බෞද්ධාගමිකයකු වන රංජිත් අලුවිහාරේ මහතා පත්කර සිටීමද විශේෂත්වයක් වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon