රට උකස් කර ගිනි පොලියට ණය අරන් අගමැති රනිල් ලෝක වාර්තාවක් තියලා

  👤  3561 readers have read this article !
By mawbima 2018-06-13

ඉෂාරා සිල්වා
ඡායාරූප - අකිල ජයවර්ධන

ණය වාරික හා පොලී ගෙවීම ඉහළ යනවාට වඩා වැඩි වේගයකින් වත්මන් ආණ්ඩුවේ ආදායම ඉහළ ගොස් තිබෙන බවත් රජයේ බදු ආදායම ඉහළ දැමීම හේතුවෙන් සැලකිය යුතු ආදායම් අතිරික්තයක් උපදවා ගැනීමට ආණ්ඩුව සමත් වී තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවැසීය.

රට උකස් කර ගිනි පොලියට ණය ගැනීම පිළිබඳ ලෝක වාර්තාව හිමිවන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බවත් ලබන වසර වන විට ණය ගැනීම තව තවත් වැඩි වන බවත් මන්ත්‍රිවරයා අවධාරණය කෙළේය.

ඊයේ (12දා) පුංචි බොරැල්ල, වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

රටේ තියෙන ප්‍රශ්නවලට උත්තර දෙන්න අද ආණ්ඩුවට බැරි වෙලා තිබෙනවා. දිගින් දිගටම අගමැතිවරයා ප්‍රමුඛ එජාප කණ්ඩායම තමන්ගේ නොහැකියාව වසා ගැනීමට ගොබෙල්ස් න්‍යායට අනුව කියාගෙන යන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හා ඒ ආණ්ඩුවේ ප්‍රතිපත්තියට අවලාද නඟන ආකාරයේ ප්‍රකාශ පමණයි. බදු බර උසුලාගත නොහැකිව පීඩාවට පත්වී සිටින ජනතාවට නුදුරේදී පිහිටුවන අපේ ආණ්ඩුව යටතේ ලබාදෙන ප්‍රථම සහනය හැටියට 20%කින් අඩු කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා.

එම ප්‍රකාශය සිදු කළ අවස්ථාවේ පටන් භූමිතෙල් ගෑවුණු ගැරැ¾ඩි දෙන්නෙක් ඇවිස්සිලා තිබෙනවා. ඊළඟට කියනවා තුන් ගුණයකින් විදේශ ණය වැඩිකර ලොව ලොකුම ණය කන්ද හැදුව මහින්ද බදු බර අඩු කරන්න කතා කිරීම විහිළුවක් කියලා.

විපත් මඟේ නිර්මාතෘවරයා වන රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් රට විපතට ඇදගෙන යෑම සඳහා වන ප්‍රකාශයන් තමයි මේ සිදු කරන්නේ. අපි ඔහුට හරි, ඔහුගේ ඕනෑම ආර්ථික ඔස්තාර්වරයකුට හරි අභියෝගාත්මකව කියා සිටිනවා. ණය වාරිකයි, පොලියයි ගෙවන්න රජයේ ආදායම ප්‍රමාණවත් නැහැ. ණය ගෙවීමට බැරි නිසා ගොවීන්, කම්කරුවන්, වෛද්‍ය විශේෂඥයන්, ඉන්ජිනේරුවරුන් වෘත්තිකයන්, ආයෝජකයන්, ව්‍යාපාරිකයන් සියලු දෙනා වැඩි වැඩියෙන් බදු ගෙවන්න ඕන. බදු ගෙව්වේ නැත්නම් ණය ගෙවන්න බැහැ කියලා කිව්වට එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා.

2012, 2013,2014 කියන වර්ෂ තුනේදී රජයේ ආදායමත් ණය වාරික හා පොලී ගෙවීමත් පිළිබඳ සංඛ්‍යා දත්ත රටට ඉදිරිපත් කළා. 2015, 2016, 2017 වර්ෂවලදී ණය වාරික හා පොලී ගෙවීමට රජයේ ආදායම අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩිපුර තිබෙනවා. ණය හා වාරික ගෙවා ගැනීමට නොහැකිව රජයේ ආදායම බිලියන 10කින් අඩුවෙලා තිබෙන්නේ 2013දී පමණයි.

මේ ආණ්ඩුව බලයට පත් වූ වහාම ණය බොරුව ගැන කියලා වැට් වැඩි කරලා, දේශීය ආදායම් පනත සංශෝධනය කරලා, රේගු පනත සංශෝධනය කරලා අසාමාන්‍ය ලෙස රාජ්‍ය ආදායම වැඩි කරන්න උත්සාහ කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2016 වසරේදී රාජ්‍ය ආදායම රු. බිලියන 1464 දක්වා වැඩි වුණා. 2016 දී තව තවත් රාජ්‍ය ආදායම වැඩිවෙනවා. රුපියල් බිලියන 1,686ක් ලෙස වැඩිවෙන අතර 2017 වසරේදී රු. බිලියන 1,831ට රාජ්‍ය ආදායම වැඩිවෙනවා. ණය වාරික පොලී ගෙවන්න වැය වන්නේ රුපියල් බිලියන 1,603ක් පමණයි. රු. බිලියන 228ක ආදායම් අතිරික්තයක් තිබෙනවා රජයට.

සම්පූර්ණ සංඛ්‍යා දත්ත ගෙන බැලුවාම ඔප්පු වෙනවා රටත් රටේ ජනතාවත් මුළුමනින්ම නොමඟ යවන ප්‍රකාශ අග්‍රාමාත්‍යවරයා විසින් සිදු කර තිබෙන බව. මහින්ද රාජපක්ෂ මහතා රට භාරදෙන විට ණය වාරික පොලී ගෙවන්න මුදලක් තිබුණේ නැහැ කියන්නේ සම්පූර්ණ අසත්‍යයක්. ණය වාරික හා පොලී ගෙවීම් වැඩි වෙනවාට වඩා වැඩි වේගයකින් මේ රජයේ ආදායම වැඩිවෙලා තිබෙනවා. රජයේ ආදායම වැඩිවෙලා තිබෙනවා කියන්නේ හූරලා බදු අරගෙන තිබෙනවා. මහින්දගේ ණය ගෙවන්න බැරි නිසා නෙවෙයි මේ පීඩනය ඇතිවෙලා තිබෙන්නේ. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඇතුළු එජාප රජයේ සර්ව මූල්‍ය කළමනාකරණය කඩා වැටිලා දුර්වල වෙලා තිබෙන නිසයි. මේ බොරුවෙන් ගොඩයන්න බැහැ.

මහින්ද රාජපක්ෂ රට භාර දෙන විට නොපියවා තිබූ රාජ්‍ය ණය ටි්‍රලියන 2යි. මේ ණය වැඩි වුණේ ටි්‍රලියන 7 දක්වා පමණයි.

2018 මේ වන විට රජයේ නොපියවූ ණය බිලියන 11යි. එතකොට ටි්‍රලියන 7 - 11 වන විට ටි්‍රලියන 4ක් ණය අරගෙන තිබෙනවා. කවුද එතකොට ලෝක වාර්තාව තියලා තිබෙන්නේ. මහින්ද රාජපක්ෂද, රනිල් වික්‍රමසිංහ ඇතුළු යහපාලන ආණ්ඩුවද කියන එක දෙකේ පන්තියේ ඉන්න දරුවකුට වුණත් තේරෙනවා.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දත්ත සටහනට අනුව ලංකාවේ විශාලම ණය අර්බුදය එන්නේ 2025දී. මේ ණය කන්දට කර ගහන්න වෙන්නේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට නෙවෙයි. ඊළඟට අපි ගන්න ආණ්ඩුවටයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්

යහපාලන ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තුවට අඳුරු කාලයක් උදාවෙලා. බැඳුම්කර වංචාවෙන් ගඳ ගහන පාර්ලිමේන්තුව ඉතාම ඉක්මනින් පිරිසුදු කරගන්න කතානායකතුමා පියවර ගන්න ඕනෑ. පාර්ලිමේන්තුව මේ තරම් අවමානයට ලක්වූ යුගයක් ඉතිහාසයේ කවදාවත් තිබුණේ නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි

බැඳුම්කර වංචාවෙන් රටට අහිමි වූ මුදල නැවත අය කරගන්නවා නම් සියයට 20 දක්වා බදු අය කිරීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon