ඒකාබද්ධ විපක්‍ෂය දෙකඩ කිරීමට රනිල්-මෛත්‍රි දවල් හීන දකිනවා

  👤  3684 readers have read this article !
By mawbima 2018-06-13

කුමන දේශපාලන ප්‍රයෝග යෙදුවත් ඒකාබද්ධ විපක්ෂය දෙකඩ කිරීමේ මෛත්‍රි - රනිල් හීනය කිසිදා සැබෑ නොවන්නක් බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කෙළේය.

මෛත්‍රි-රනිල් හවුලේ බාල දේශපාලන උපක්‍රමවලට ඒකාබද්ධ විපක්ෂය හසු නොවන බව අවධාරණය කළ රණතුංග මහතා 2019 ජනාධිපතිවරණය ස්ථීර වශයෙන්ම ජයග්‍රහණය කළ හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආශීර්වාදය හිමි ඒකාබද්ධ විපක්ෂයට පමණක් බවත් පැවැසීය.

ප්‍රසන්න රණතුංග මහතා මේ අදහස් පළ කළේ උඩුගම්පොළ රෙජී රණතුංග සමරු සම්මන්ත්‍රණ ශාලාවේදී ඉකුත්දා(10දා) පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.

මන්ත්‍රිවරයා එහිදී වැඩිදුරටත්
මෙසේද කීය.

2015 ජනවාරි 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජය වුණාම ඒ වෙනතුරුම මහින්ද මහත්තයා ළඟ හිටපු අය එතුමාව අතහැරලා ගියා. බලය තියෙන කාලයේ වැඩිපුරම වාසි ගත්ත සියලු දෙනාම ගිහින් මෛත්‍රිපාල මහත්තයා එක්ක එකතු වුණා.

හැමෝම එදා හිතුවේ රාජපක්ෂලා ඉවරයි කියලා. හැබැයි මේ රටේ ඉන්න කෙළෙහිගුණ දන්න ජනතාව ඒ හිතුව විදියට රාජපක්ෂලාට ඉවර වෙන්න ඉඩ තිබ්බේ නැහැ. පැරැදුණු දවසේ ඉඳලම ජනතාව වැල නොකැඩී මහින්ද මහත්තයා බලන්න යන්න ගත්තේ හරියට වන්දනාවක යනවා වගෙයි.

මේ රටේ හිටපු කිසිම ජනාධිපතිවරයකුට නොලැබුණු අන්දමේ ගෞරවයක් ජනතාවගෙන් මහින්ද මහත්තයට ලැබුණා. මිනිස්සු ගිහින් මහින්ද මහත්තයාගෙන් ඉල්ලුවේ ආපසු දේශපාලනයට එන්න කියලයි. ඒ අනුව මහින්ද මහත්තයා අගෝස්තු මැතිවරණයට තරග කරලා ආපසු පාර්ලිමේන්තුවට ආවා.

මේ වෙනකොට රනිල්-මෛත්‍රි ප්‍රමුඛ ආණ්ඩුවට ලොකුම හිසරදය වෙලා තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂයයි. අවුරුදු තුනක් යන්නත් ඉස්සර අපි මේ ආණ්ඩුව හෙල්ලුවා.

ඒකාබද්ධ විපක්ෂය කියන්නේ මේ රටේ පොදු ජනතාවගේ බලවේගයයි. යහපාලන ආණ්ඩුව යටතේ මේ රට වැටිලා තියෙන අගාධයෙන් ගොඩගන්න පුළුවන් එකම බලවේගය ඒකාබද්ධය පමණයි. අද මේ රටේ ජනතාවට මහින්ද මහත්තයාගේ සරණ හැර වෙන සරණක් නැහැ.

අපේ කණ්ඩායම බෙදීමේ අරමුණෙන් රනිල් - මෛත්‍රි හවුලෙන් මේ දවස්වල එක එක පිල්ලි එවනවා. අපේ කණ්ඩායම බෙදන්න මෛත්‍රිගේ පිල්ලිවලට බැහැ කියලා අපි කියනවා.

අපිට වළ කපන්න නම් කාටවත් අපි ඉඩ තියෙන්නේ නැහැ. මේක අපි වෙනුවෙන් කරන සටනක් නෙවෙයි. මේක ජනතාව වෙනුවෙන් කරන සටනක්. ඒ සටන ජයග්‍රහණයෙන් මිස කෙළවර කරන්න අපි කිසිසේත් සූදානම් නැහැ.

16 දෙනාගේ කණ්ඩායමේ සැබෑ වුවමනාව මොකක්ද කියන ගැටලුව අපිට තියෙනවා. ඒ අයටත් ඕනේ ඊළඟ පාරත් මහින්ද මහත්තයාගේ ෆොටෝ එක ගහගෙන පාර්ලිමේන්තු යන්න විතරද කියන ගැටලුව තියෙනවා. එහෙම නැත්නම් මෛත්‍රි-රනිල්ගේ වුවමනාවක් ඉටු කිරීමට එළියට බැස්සද කියලත් ප්‍රශ්නයක් තියෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon