ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී නව වාර්තා 48ක්

  👤  3239 readers have read this article !
By mawbima 2018-06-13

කොළඹ සුගතදාස පිටියේදී පසුගියදා අවසන් වූ ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී නව වාර්තා 48ක් පිහිටුවීමට වයස් කාණ්ඩ 12 යටතේ තරග වැදුණු ක්‍රීඩක-ක්‍රීඩිකාවන් සමත්විය.

ඉන්දියාව, ඉන්දුනීසියාව හා සිංගප්පුරුව යන රටවල්වල ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 36ක්ද සහභාගි වූ මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 850ක් ඉක්මවූ ක්‍රීඩක-ක්‍රීඩිකාවන් පිරිසක් එක්ව සිටියහ.

එහිදී ශ්‍රී ලංකාවෙන් තරග වැදුණු ඒ. චෙප්පාලි මෙම තරගාවලියට එක්වූ වැඩිම වයසක් (90) ඉක්මවූ ක්‍රීඩකයා බවට පත්වූ අතර, ඉන්දුනීසියාවෙන්ද 85-90 වයස් කාණ්ඩය යටතේ එක් ක්‍රීඩිකාවක් ඉදිරිපත් වී තිබීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් මෙම තරගාවලියේදී අවුරුදු 50-55 වයස් කාණ්ඩය යටතේ දුර පැනීමේ ඉසව්වේදී මීටර් 4.46ක පිම්මක් සටහන් කළ ෆ්‍රැන්සිස්කා ද සිල්වා තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගනිද්දී නදීකා ලක්මාලිට සම්මාන දෙකක් හිමිවීමද කැපී පෙනේ. ඒ අනුව වයස අවුරුදු 35-40 වයස් කාණ්ඩය යටතේ හෙල්ලය විසි කිරීමේ කාන්තා ඉසව්වට සහභාගි වූ ලක්මාලි එහිදී මීටර් 46.82ක දුරක් සටහන් කරමින් 35-40 වයස් කාණ්ඩය යටතේ හොඳම ක්‍රීඩිකාව (ජවන හා පිටිය) බවටද පත්වූවාය.

අවුරුදු 35-40 වයස් කාණ්ඩය යටතේ මීටර් 200 ඉසව්ව තත්. 22.8කදී අවසන් කළ කුමාර මුණසිංහ හොඳම දක්‍ෂතා (පිටිය) දැක්වූ ක්‍රීඩකයා බවට පත්වෙද්දී අවුරුදු 35-40 කාන්තා වයස් කාණ්ඩය යටතේ මීටර් 200 තරගය තත්. 28.4කදී අවසන් කළ ඒ.එම්.ජී.එල්. එස්. අයිරාංගනී පිටියේ තරගවලදී හොඳම දක්‍ෂතාව (ඕඥඵබ නඥපටධපථචදජඥ) දැක්වූ ක්‍රීඩිකාව බවටද පත්වූවාය. තවද අවුරුදු 50-55 වයස් කාණ්ඩයෙන් තරග වැදුණු කර්නල් මහේෂ් අබේරත්න මිටිය විසිකිරීමේ ඉසව්වේදී මීටර් 31.26ක දුරක් විසි කරමින් පසුගිය වාර්තාවද ඉක්මවා මේ වසරේදී පැවැත්වෙන ලෝක ප්‍රවීණ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහාද සුදුසුකම් ලබාගැනීමද කැපී පෙනුණි.

මේ අතර අවුරුදු 70-75 වයස් කාණ්ඩයෙන් තරග වැදුණ බර ඉසිලීමේ සංගමයේ හිටපු සභාපතිවරයකුද වන ඩබ්ලිව්. රංජිත් පෙරේරා මහතා රිදී පදක්කමක් සහ එක් ලෝකඩ පදක්කම් දෙකක් දිනාගැනීමට සමත්විය. ඔහු එම ජයග්‍රහණ ලැබුවේ යගුලිය, හෙල්ල විසිකිරීම හා මිටිය විසි කිරීම යන ඉසව්වලිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon