කටහඬ පිරික්සීම සඳහා විත්තිකරු ශානිල්ට රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්නැයි නියෝග

  👤  3557 readers have read this article !
By mawbima 2018-06-13

අමිල අබේරත්න

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සහ විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් ඊස්ට් වෙස්ට් ප්‍රොපටීස් සමාගමේ අධ්‍යක්ෂිකා අනිකා විජේසූරියට ජංගම දුරකථනය ඔස්සේ මරණීය තර්ජනය කළැයි කියන සිද්ධියට අදාළ විෂයගත සංවාදය ඇතුළත් ජංගම දුරකථනවල පටිගත වී ඇති කටහඬවල් පරීක්ෂා කිරීම සඳහා හෙට (14දා) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සැකකටයුතු ලේඛන අංශයේ අපරාධ විශ්ලේෂණ විද්‍යාගාරයේ පෙනී සිටින ලෙස සිද්ධියේ විත්තිකරු වන ශානිල් නෙත්තිකුමාර යන අයට කොළඹ කොටුව මහෙස්ත්‍රත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියම කළාය.

කටහඬ පරීක්ෂණය සඳහා යොමුවන ලෙස පසුගියදා මහෙස්ත්‍රාත්වරිය විත්තිකරුට නියම කළ අතර ඩෙංගු රෝගය වැලඳීම හේතුවෙන් විත්තිකරු කටහඬ පරීක්ෂණය සඳහා ඉදිරිපත් නොවීම මත හෙට රස පරීක්ෂක
කාර්යාලයට ඉදිරිපත් වන ලෙසට මහෙස්ත්‍රාත්වරිය විත්තිකරුට නියම කළාය.

කටහඬ පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවීමට නොහැකි වීමට හේතුව විත්තිකරු නීතිඥවරයකු මාර්ගයෙන් මෝසමක් මඟින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර ඔහු පෙරේදා (11දා) දින අධිකරණයේ පෙනී සිටියේය.

අධිකරණයේ නියමය පරිදි පැමිණිලිකරු වන විජිත විජේසූරිය යන අය සහ විත්තිකරු වන ශානිල් නෙත්තිකුමාර යන දෙදෙනාම කටහඬ පරීක්ෂණය සඳහා පෙනී සිටිය යුතුවේ.

බැඳුම්කර වාංචාව සම්බන්ධයෙන් පත්කළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීම සහ විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීම සම්බන්ධයෙන් තම නැඟණිය වන අනිකා විජේසූරියට ජංගම දුරකථනය ඔස්සේ තම ජංගම දුරකථන අංකයට කතාකොට ශානිල් නෙත්තිකුමාර යන අය විසින් තර්ජනය කළේ යැයි ඇයගේ සහෝදරයා වන විජිත විජේසූරිය විසින් අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට ඇත.

ඊස්ට් වෙස්ට් ප්‍රොපටීස් සමාගමේ අධ්‍යක්ෂිකා අනිකා විජේසූරියට අයත් කොළඹ 'මොනාක්' රෙසිඩන්සිස් නිවාස සංකීර්ණයේ නිවෙසක් කුලියට ගැනීම සඳහා හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු ඔහුගේ පවුලට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු ලෙස සැලකෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අර්ජුන් ඇලෝසියස් විසින් රුපියල් මිලියන 1.4ක මුදලක් ගෙවීම සහ ඒ සඳහා බදු වශයෙන් රුපියල් මිලියන 7.3ක මුදලක් අර්ජුන් ඇලෝසියස් යන අයට අයත් පර්පචුවල් කැපිටල් හෝල්ඩින්ග්ස් නමැති ආයතනයෙන් ගෙවීම පිළිබඳ සිද්ධියකට අදාළව අනිකා විජේසූරිය විසින් ජනාධිපති බැඳුම්කර කොමිසම ඉදිරියේ සාක්ෂි දුන්නාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon