ප්‍රසන්න රණතුංග මහතා කාර්යාලය තුළට පැමිණියා නම් ඒ සියල්ල රහසිගතව

  👤  3740 readers have read this article !
By mawbima 2018-06-13

කේ.එස්. උදයකුමාර්

'ඉකුත් 2015 වසරේ මැයි මස 29 වැනිදා විත්තිකාර හිටපු බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මට දුරකථනයෙන් කතා කර පොරොන්දු වූ පරිදි රුපියල් මිලියන 6ක මුදල දෙන්න කියලා තර්ජනය කළා. පොරොන්දු වූ විදියට නුදුන්නොත් නරක මිනිහා කියන්න එපා කියලා ඔහු මට තර්ජනය කළා. මා විත්තිකරු සමඟ පැවැත්වූ මෙම දුරකථන සංවාදය මාගේ ටැබ් යන්ත්‍රයෙන් පටිගත කරගත්තා' යනුවෙන් සාක්ෂිකාර ජෙරාඩ් මෙන්ඩිස් මහතා පෙරේදා (11දා) කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය.
කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ගොඩකිරීම සඳහා එහි රැඳී සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර නිරවුල් කර දීම සඳහා රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි චෝදනා කරමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිය ඇතුළු විත්තිකරුවන් තුන් දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවක් කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය ඉදිරිපිට යළි විභාගයට ගත් අවස්ථාවේදී සාක්ෂිකාර ජෙරාඩ් මෙන්ඩිස් මහතා මේ බව ප්‍රකාශ කළේය.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, තුසිත් මුදලිගේ මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් සාක්ෂිකරු 2015 වසරේ මැයි මස 29 වැනිදා විත්තිකාර ප්‍රසන්න රණතුංග මහතා විසින් මුදල් ඉල්ලා තර්ජනය කරමින් දුන් දුරකථන ඇමැතුම සිය ටැබ් යන්ත්‍රය මාර්ගයෙන් පටිගත කරගත් බව කියා සිටියේය. මේ ආකාරයෙන් විවිධ අවස්ථාවල මෙම සිද්ධියට අදාළව පටිගත කරගත් සංවාද අඩංගු සංයුක්ත තැටි හතක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාරදුන් බවද සාක්කිකරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් - 2015 වසරේ මැයි මස 29 වැනිදා විත්තිකරුගෙන් ඔබට දුරකථන ඇමැතුමක් ලැබුණාද?

සාක්ෂිකාරු - 'ස්වාමිනී! දුරකථන ඇමැතුමක් ලැබුණා. කලින් පොරොන්දු වුණු විදියට රුපියල් මිලියන හතක මුදල ලබා දෙන ලෙස ඔහු මට තර්ජනය කළා. දුන්නේ නැත්නම් නරක මිනිහා කියලා කියන්න එපා කියලත් විත්තිකරු මට තර්ජනය කළා.'

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්? - 'ඉන් පසුව මොකක්ද සිද්ධ වුණේ.'

සාක්ෂිකරු - 'එදින සවස විත්තිකාර ප්‍රසන්න රණතුංග මහතා ඔහුගේ ආරක්ෂකයන් සමඟ මගේ කාර්යාලයට පැමිණියා. ආරක්ෂකයන් අතේ පිස්තෝල තිබුණා. ආරක්ෂකයන් තුන් දෙනෙක් මගේ කාර්යාලය ඇතුළට ආවා. ප්‍රසන්න රණතුංග මහතා කාර්යාලය තුළට ආවේ නෑ. වාහනය තුළම හිටියා. පසුව මම වාහනය ළඟට ගොස් ඔහු සමඟ කතා කළා. ප්‍රසන්න රණතුංග මහතා කාර්යාලය තුළට පැමිණියා නම් ඒ සියල්ල රහසිගතව රූපගත කරන්න මා කටයුතු යොදා තිබුණා.'

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්? - 'මෙම සිද්ධියෙන් පසුව ඔබට ඇති වුණේ මොන ආකාරයේ හැඟීමක්ද?'

සාක්ෂිකරු - 'විශාල බියක් ඇති වුණා. පසුව මා මේ පිළිබඳව නීති උපදෙස් ලබාගත්තා. පසුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කළා.'

'මෙහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරල් තුසිත් මුදලිගේ මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් විත්තිකාර ප්‍රසන්න රණතුංග මහතා මුදල් ඉල්ලා තර්ජනය කළ බව කියන දුරකථන සංවාදය අඩංගු සංයුක්ත තැටිය අධිකරණය හමුවේ පවතින බවත් එය වාදනය කිරීම සඳහා අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියේය. මෙම හඬපටය කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය මඟින් පරීක්‍ෂාවට ලක්කර වාර්තාවක් ඉදිරිපත් කර ඇතැයිද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

අනතුරුව විනිසුරුවරයාගේ අනුමැතිය මත 'ලැප්ටොප්' පරිගණකයක් ආධාරයෙන් අදාළ හඬපටය වාදනය කිරීමට පියවර ගත්තත් එය වාදනය නොවීය.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් - ස්වාමිනී! මෙම හඬපටය වාදනය කිරීමට කිසියම් අපහසු තත්ත්වයක් ඇතිවී තිබෙනවා. ඇතැම් විට මෙම සංයුක්ත තැටිය වසර තුනක් පමණ නිකන් තිබීම නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකියි යනුවෙන් සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා මෙම හඬපටය විත්තිකරුගේ ටැබ් යන්ත්‍රය තුළ තිබෙන බවත් එය වාදනය කිරීමට අවස්ථාව දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේ රජයේ පාර්ශ්වය මතු කළ ඉල්ලීමට විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා විරෝධය දැක්වීය.

විත්තියේ නීතිඥවරයා - ස්වාමිනී! අධිකරණය හමුවේ පවතින මෙම සංයුක්ත තැටිය පමණයි කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය වෙත යොමුකර වාර්තාවක් කැඳවා තිබෙන්නේ. ටැබ් යන්ත්‍රයේ අන්තර්ගත හඬපටය සඳහා එවැනි වාර්තාවක් ලබාගෙන නැහැ.
රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් - නැහැ. ස්වාමිනී සංයුක්ත තැටියත්, ටැබ් යන්ත්‍රයේ අඩංගු හඬපටයත් දෙකම කොළඹ විශ්විද්‍යාලයේ පරිගණක අංශය වෙත යොමුකර වාර්තාවක් ලබාගෙන තිබෙනවා. එම නිසා සාක්‍ෂිකරුගේ ටැබ් යන්ත්‍රයේ අඩංගු හඬපටය විවෘත අධිකරණයේ වාදනය කර සාක්‍ෂි විමසීමට නීතිමය බාධාවක් නැහැ.

ඒ අනුව අධිකරණය භාරයේ පවතින සාක්‍ෂිකරුගේ ටැබ් යන්ත්‍රයේ අන්තර්ගත හඬපටය විවෘත අධිකරණය හමුවේ වාදනය කර සාක්‍ෂි විමසීමට විනිසුරුවරිය අවසර දුන්නාය.
ඒ අනුව ටැබ් යන්ත්‍රය තුළ අන්තර්ගත හඬපටය විවෘත අධිකරණයේ වාදනය කර සාක්‍ෂි සටහන් කර ගැනීම සිදුවිය.

වැඩිදුර සාක්‍ෂි විභාගය ලබන 28 වැනිදාට කල් තැබීය.

කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක රැඳී සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර නිරවුල් කරදීම සඳහා රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා ජෙරාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයාට තර්ජනය කළේ යැයි චෝදනා කරමින් ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිය මොරින් රණතුංග සහ බිරියගේ ඥාති සොහොයුරකු වන තරේෂ්
ෆාරික් යන අයට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ.

තරේෂ් ෆාරික් නඩුවේ තුන්වැනි විත්තිකරු මේ වන විට අධිකරණය මඟහැර සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යෑමට අධිකරණය තීරණය කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon