විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ගන්නා දේශපාලනඥයන් ජනතා අධිකරණයට රැගෙන යා යුතුයි

  👤  3332 readers have read this article !
By mawbima 2018-06-13

මතුගම - වසන්ත කුමාර, අනුරාධපුර - එරන්ද ශෂිප්‍රිය

දේශපාලනඥයන් මැතිවරණ සමයේදී විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ගැනීම හෝ වියදම් කිරීම දැනට පවතින නීතිය යටතේ හරිද? වැරැදිද? මැතිවරණ කොමිෂන් සභාවට කිව හැකි දෙයක් නොවන අතර ඒ සම්බන්ධයෙන් නීතිමය ප්‍රශ්නයක් ඇත්නම් එය අධිකරණයෙන් විස¼දා ගත යුතුයි. මෙහිදී වඩා සුදුසුම අධිකරණය ජනතා අධිකරණය යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පසුගියදා කීවේය.

ඡන්ද දායකයන්ගේ දිනය වෙනුවෙන් කළුතර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය රථ පෙළපාළියක් හා ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් පසුගිය 7දා පැවැත්විය. බුලත්සිංහල මහගම සණස ශාලාවේදී පැවැති උත්සව සභාව ඇමැතූ මහින්ද දේශප්‍රිය මහතා මේ අදහස් පළ කළේය.

දේශපාලනය දේශපාලන වෘත්තිකයන්ට පමණක් අයිති දෙයක් නෙවෙයි. සියලු පුරවැසියන්ගේම අයිතියක්. ඡන්ද කොළයට නම ඇතුළත් කරගෙන ඡන්ද පොළට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පමණක් ඡන්ද දායකයාගේ යුතුකම් හා වගකීම් අවසන් වෙන්නෙ නැහැ.

ඡන්දයේදී වියදම් කළ මුදල හා එම මුදල් වියදම් කළ ආකාරයත් මුදල් ලැබුණු ආකාරයත් හෙළි කළ යුතු බවට නීතියක් තියෙනවා නම් අද රටේ ඇති වෙලා තිබෙන බොහෝ දූෂණ, වංචා අඩු වෙනවා. මේ ක්‍රමය සඳහා නව නීති සම්පාදනය කර ඉදිරිපත් කර තිබෙනවා.

1945 සිට මැතිවරණ ක්‍රමය හඳුන්වා දුන් පසු 1977 තනි කොට්ඨාස ක්‍රමයටත් 1983 මැතිවරණවලදීත් මන්ත්‍රිවරයා මාසයක් ඇතුළත තමන්ගේ වියදම් වාර්තාවක් ඇතුළත් කළ යුතු බවට නීතියක් තිබුණා. වියදම් කළ යුතු මුදලේ සීමාවක් තිබුණා.

ඒ අනුව මැතිවරණ පෙත්සම් මඟින් ජයගත් අපේක්‍ෂකයන්ගේ ධුරය පමණක් නොව ප්‍රජා අයිතිය පවා අහෝසි කළ හැකියි. එහෙම නීතියක් තිබුණු අපේ රටේ දෙවැනි ජනරජ ව්‍යවස්ථාවෙන් පසුව ආපු ව්‍යවස්ථාවෙන් වියදම් වාර්තා ඉදිරිපත් කිරීම නැතිව ගියා. දිස්ත්‍රික්කයක් පුරාම ඡන්ද කටයුතු කිරීමට සිදුවීම නිසා වියදම සීමාවක් නැතිව යන්න ඇති.
ඡන්දයකදී සිදු කරන වියදම, ලැබෙන ආකාරය හා මුදල් වියදම් කළ ආකාරය මැතිවරණ නීතියට ඇතුළත් කරන ලෙස ව්‍යවස්ථා සම්පාදකයන්ගෙන් ඉල්ලා සිටිනවා. එසේ වුවහොත් අපට සාධාරණ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයක් හිමි වෙනවා.

සමහර අය කියන්නේ මැතිවරණ කොමිසමට තියෙන්නෙ ඡන්ද කාලෙට ඡන්දයක් තියල ප්‍රතිඵල ගණන් කරලා දෙන එක විතරයි කියලා.

ඒ මතය මැතිවරණ දෙපාර්තමේන්තුව තිබෙන කාලයේදීම නැති කළා. ඡන්ද දායකයන්ව ඡන්ද පොළට ගෙන ඒමට කටයුතු කරනවා. ඒක කළා. 2012 ඉඳල මහජනතාව බය නැතිව ඡන්ද පොළට ගිහිල්ලා ඡන්දය ප්‍රකාශ කිරීම ඉහළ ගියා. එසේම සුදුසුකම් ඇති සියලුම දෙනා ඡන්දය සඳහා ලියාපදිංචි කිරීමටත් සුදුසුකම් නැති කිසිවකුත් ඇතුළත් නොකිරීමටත් අපි කටයුතු කළා. විශේෂයෙන්ම කුලී නිවැසියන්, ස්ථීර වාසස්ථාන නැති ජන කොට්ඨාසවල ඡන්ද දායකයන් ලියාපදිංචි කිරීමට අපි ඉන්දීය මැතිවරණ ලියාපදිංචිය ආදර්ශයට ගෙන කටයුතු කර ඒ සියලු දෙනාට ඡන්දයේ අයිතිය ලබාදීමට කටයුතු කර තිබෙනවා. ඡන්ද ප්‍රමාද වීම ප්‍රජාතන්ත්‍රවාදයට හානියක්. බස්නාහිර පළාතට ඒ ප්‍රශ්නය නැතත් වෙනත් පළාත්වලට පළාත් සහ ඡන්ද කල් ගිය ස්ථාන තිබෙනවා. නියමිත කාලයට ඡන්ද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලිකම ලක්ෂණය බවට පත්වෙනවා. ප්‍රමාද වන සෑම ඡන්දයක්ම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහිමි කිරීමක්. ඕනෑම ඡන්දයක් නිසි කාලයට නොපැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සංකල්පයන්ට ඉඳුරාම පටහැනියි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon