මෛත්‍රිට-රනිල්ට ජවිපෙන් අභියෝගයක්

  👤  3605 readers have read this article !
By mawbima 2018-05-27

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

තවිධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන සිය ස්ථාවරය හැකි නම් රටට හෙළිකරන්නැයි ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් අභියෝගයක් කරයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට අදාළ විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ලෙස පසුගිය සිකුරාදා (25දා) කථානායක කරු ජයසූරිය වෙත භාරදීමෙන් අනතුරුව "ඉරිදා මව්බිම" අනුර කුමාර දිසානායක මහතාගෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඉහත අභියෝගය කරන බව පැවැසීය.

මේ පෞද්ගලික මන්ත්‍රි යෝජනාව මුලින්ම නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර එහි උපදෙස් අනුව ගැසට් කර අදාළ අමාත්‍යාංශයට යොමුකොට ඉන්පසුව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට නියමිත බවත් ආණ්ඩුවට අවංක වුවමනාවක් තිබෙනවා නම් මේ යෝජනාව විවාද කොට මාස 3ක් ඇතුළත සම්මත කරගත හැකි බවත් දිසානායක මහතා පෙන්වා දුන්නේය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහත් ප්‍රසිද්ධියේ රටට ප්‍රතිඥාවක් ලබාදුන් බවත් එය දැන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අවස්ථාව උදා වී තිබෙන බවත් ඒ මහතා පැවැසීය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද ප්‍රකාශ කර තිබෙන නිසා මෙම යෝජනාවට විරුද්ධ වීමට ඔහුටද නොහැකි බව දිසානායක මහතා සඳහන් කළේය.

මේ පිළිබඳව ඉදිරියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක ආර්. සම්පන්දන් යන මහත්වරුන් ඇතුළු දේශපාලන නායකයන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon