ක්‍රිකට් ක්‍රීඩක ධනංජයගෙ තාත්තාගේ ඝාතකයෝ අංජුගෙ කල්ලියෙන්ද?

  👤  4345 readers have read this article !
By mawbima 2018-05-27

මුහුද තරමක් ප්‍රචණ්ඩය. රාත්‍රි 8 පසුවී තිබීමත් නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ රත්මලාන පසුකරමින් යන දුම්රිය කිහිපයකට පමණක් සීමා වී තිබිණි. ඇදහැලුණු ධාරානිපාත වරුසාවත් සමඟ නිවෙසට කොටුව සිටි රන්ජන් ද සිල්වා මහතා රේල් පාර පැන නිවෙස ඉදිරියේ වූ කොන්ක්‍රීට් ලෑල්ලක හිඳගත්තේ මඳක් විවේකයෙන් ගත කිරීමේ අදහසින්.
"කොහොමද අයියේ මොකද මේ එළියේ" රන්ජන් ද සිල්වාගේ මිත්‍ර ගම්වාසියකු අසල වූ කුඩා කඩයෙන් සිගරැට්ටුවක්ද පත්තු කරමින් ඔහුගේ තනිවට පැමිණියේය.

ඒ වනවිටත් රන්ජන් ද සිල්වා සමඟ ඔහුගේ තවත් මිතුරකු අල්ලාප සල්ලාපයේ නිරත වෙමින් සිටියේය.

වේලාව රාත්‍රි 8.30ට පමණය.

රන්ජන් ද සිල්වා හිඳගෙන සිටි ස්ථානයට නුදුරින් පිහිටි ඥානේද්‍ර පාර කෙළවරේ සිට නාඳුනන පුද්ගලයන් තිදෙනකු මොවුනට සැක නොසිතෙන සේ ළංවිය.

මීටර් 50ක පමණ දුර සිට ඉන් අයකු අතේ තිබූ ටී 56 වර්ගයේ ගිනි අවිය ක්‍රියාත්මක විණි.

වෙඩි වරුසාවෙන් රන්ජන් ද සිල්වා ඇතුළු තිදෙනා වෙඩි වැදී බිම ඇද වැටිණි.

දිගට හරහට වෙඩි ප්‍රහාර එල්ල කළ වෙඩික්කරු බිම වැතිර සිටි රන්ජන් ද සිල්වා මහතා අසලට පැමිණ ඔහුගේ හිසට සහ පපු ප්‍රදේශයට නැවත වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කළේය.

ඔහු ඝාතනය වූයේ දැයි විපරම් කර බැලූ නාඳුනන තුවක්කුකරු ඔහුගේ සෙසු සාමාජිකයන් දෙදෙනා සමඟ එම ස්ථානනේ පලා ගියහ.

වෙඩි වරුසාවේ හඬට නිවෙස්වලින් එළියට පැමිණි අසල්වාසීහු ලේ විලක් මැද වැතිර සිටි රන්ජන් ද සිල්වා සහ විලාප නඟමින් සිටි අනෙකුත් පුද්ගලයන් දෙදෙනා වහාම කළුබෝවිල රෝහලට රැගෙන යෑමට කටයුතු කළහ.

රෝහලට රැගෙන යන විටත් රන්ජන් ද සිල්වා මියගොස් සිටි බව වෛද්‍යවරුන් අසල්වැසියන්ට දැන්වීය.

නාඳුනන වෙඩික්කරු සිය ටී 56 වර්ගයේ ගිනි අවියෙන් උණ්ඩ 20කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර තිබූ අතර ඉන් උණ්ඩ දහයකට අධික ප්‍රමාණයක් වැදී තිබුණේ රන්ජන් ද සිල්වා හටය.

වෙඩි ප්‍රහාරයෙන් පැය දෙකතුනක් පමණ යනවිට දෙස් - විදෙස් මාධ්‍ය රත්මලානේ සිදුවූ මෙම අබිරහස් ඝාතනය වාර්තා කළේය. ඒ වාර්තාවන්ට අනුව ඝාතනය කර ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාය.

පියාගේ හදිසි වියෝව ආරංචි වූ ධනංජය ද සිල්වාද ඉකුත් 25 වැනි දින යෑමට තිබූ කොදෙව් සංචාරයෙන්ද වහා ඉවත් වී රත්මලානට පැමිණියේය.

රත්මලාන සී.සී.බී.ඒ. පාර ප්‍රදේශයේ පදිංචිව සිටි රන්ජන් ද සිල්වා 62 හැවිරිදිය.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා පොදුජන පෙරමුණෙන් තරගවැදුණු රන්ජන් ද සිල්වා දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවට තේරී පත්වූයේ නාගරික මන්ත්‍රිවරයකු ලෙසටය.

සිය දේශපාලන ගමන ආරම්භ කළ රන්ජන් ද සිල්වාගේ ජීවන ගමන නවතා දැමුවේ කවුරුන්ද යන්න පිළිබඳව පුළුල් පොලිස් පරීක්ෂණ ආරම්භ විය.

ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් පුෂ්පකුමාර ඇතුළු නිලධාරීන් මෙම සිද්ධියේ මූලික පොලිස් පරීක්ෂණ ආරම්භ කළ අතර තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ පිළිබඳ විමර්ශන කටයුතු දියත් කළේය.

වෙඩි ප්‍රහාරය සිදුව හෝරා කිහිපයක් ගතවනවාත් සමඟම පාතාල මර්දන ඒකක අනාවරණය කර ගත්තේ පාතාල නායක "අංජු" නමැත්තාගේ කල්ලි සාමාජිකයන් විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවටය.

දකුණේ සහ කොළඹ පාතාලය සේම රත්මලාන හා ගල්කිස්ස යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පාතාලයන් ක්‍රියාත්මක වන්නේය.

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ප්‍රධාන කල්ලි දෙකක් අතර පවතින කෝන්තරයක ප්‍රතිඵලයක් ලෙසට මෙම පාතාල ලෝකය බිහි වී ඇත.

ඉන් එක් කල්ලියක නායකයා වන්නේ "අංජු" නමැත්තාය. අනෙක් පිලේ නායකයා වන්නේ "රොහා"ය.

සිය ප්‍රතිවාදීන්ට දිගින් දිගටම ප්‍රහාර එල්ල කළ අංජු නමැත්තා මෙරටින් මැලේසියාවට පලා ගොස් සැඟවී සිටියේය.

නැවත ඔහු රහසිගතව මීට දින 15කට පෙර මෙරටට පැමිණ ඇත්තේ රන්ජන් ද සිල්වාව අහවරයක් කර දැමීමට බව පාතාල මර්දන ඒකක වෙත තොරතුරු ලැබී තිබේ.

ඉකුත් 24 වැනිදා සිදුවූ මෙම ඝාතන සිද්ධියේ වෙඩික්කරු ලෙසද පැමිණ ඇත්තේ අංජු බවද මේ වනවිට පාතාල මර්දන ඒකකයන් වෙත තොරතුරු ලැබී ඇත.

ඒ අනුව "අංජු" සහ ඔහුගේ ගෝලයන් සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

අංජු නමැත්තා විදෙස් රටකට පලා යෑමට උත්සාහ දැරුවහොත් එම උත්සාහය ව්‍යර්ථ කිරීමට පොලිසිය විසින් අදාළ අංශද මේ වන විට දැනුවත් කර ඇත.

මෙම පාතාල කල්ලි ගත් ප්‍රථම බිල්ලද මෙය නොවේ.

විදෙස් ගතව සිටි අංජුගේ සියලු හෙරොයින් ජාවාරම් කටයුතු මෙහෙය වූ ලන්සියා නමැත්තා 2016 ජුනි මස 23දා මහ දවාලේ මහර අධිකරණය ආසන්නයේදී වෙඩි තබා ඝාතනය කරන්නේ රොහාගේ කල්ලිය විසිනි.

තමාගේ හෙරොයින් ජාවාරමට බාල්දි පෙරලූ අංජුගේ ගෝලයා වන ලන්සියාව මෙලෙස පරලොවට යවා තිබුණේ රොහාය.

එදින ලන්සියා මහර මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබුණේ සිය බිරිය සමඟය. ඒ ඔහුට විරුද්ධව ඇති හෙරොයින් ජාවාරමට අදාළ නඩු කටයුත්තක් සඳහා මුහුණ දීමටය. නඩු කටයුතු අවසන් වී නැවත නිවෙස බලා සිය මෝටර් රථයේ නැඟී යමින් සිටියදී ලන්සියා මෙලෙස රොහා එවූ වෙඩික්කාරයන්ගේ බිල්ලක් විය.

එම ඝාතනයෙන් උත්තේජනයට පත් රොහා විසින් දිගින් දිගටම කොල්ලකෑම් හා ඝාතනයන් මෙහෙය වීය. වර්ෂ 2016 නොවැම්බර් මස 15 වැනි දින කුරුණෑගල, මාස්පොත ප්‍රදේශයේදී උප පොලිස් පරීක්ෂක රත්න බණ්ඩා දසනායක වෙඩි තබා ඝාතනය කරන්නේද රොහාගේ වෙඩික්කරුවන්ය.

රොහා නැවතී සිටි හෝටලය ගැන ලද තොරතුරක් මත එම හෝටලය පරීක්ෂා කිරීමට පැමිණි පොලිස් නිලධාරීන් හට එල්ල කළ වෙඩි තැබීමෙන් උප පොලිස් පරීක්ෂකවරයා ජීවිතක්ෂයට පත් විය.

ඉන් පොලිස් සැරයන්වරයකු සහ පොලිස් රියැදුරකු තුවාල ලැබීය.

එම ඝාතනයට රොහාව පොලිස් අත්අඩංගුවට ගත් අතර ඔහු මේ වන විට ඉන්නේ රක්ෂිත බන්ධනාගාර ගතවය.

බන්ධනාගාරයේ සිටි රොහා පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම බන්ධනාගාරය තුළ සිටම මෙහෙයවමින් සිටියේය. ඊට උරණ වූ අංජු රොහාව කෙලෙස හෝ ඝාතනය කිරීමට සැලසුමක් දියත් කළේය.

ඒ සිය සගයාගේ ඝාතනයේ වාඩුව ගැනීමටත් අවශ්‍ය වූ බැවිනි.
ඒ අනුව නඩු කටයුත්තක් සඳහා රොහාව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ 2017 වසරේ මාර්තු 1දා අංජු විසින් එම අධිකරණයට වෙඩික්කරුවකු ඒවා තිබිණි. නඩු කටයුතු ආරම්භ වීමට ප්‍රථමව අධිකරණයේ බංකුවක් යට සඟවා තිබූ පතරොම් සහිත ගිනි අවි දෙකක් එදින පෙරවරුවේ එහි ආරක්ෂක අංශ විසින් සොයා ගැනිණි.

අංජුගේ කල්ලියේ රොහා ඝාතන සැලසුම වැරදිනි.
රත්මලාන, ගල්කිස්ස, දෙහිවල යන ප්‍රදේශවල ක්‍රියාත්මක හෙරොයින් පාතාලයේ ක්‍රියාත්මක වීමක් ලෙස ඉකුත් මාර්තු මස 8 වැනි දිනද බස්නාහිර පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි අමල් සිල්වා ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල විය.

නමුත් එම ප්‍රහාරයෙන් එදින අමල් සිල්වා නූලෙන් බේරිණි.

අමල් සිල්වා සහ ඝාතනයට ලක් වූ රන්ජන් ද සිල්වා යන අය මිතුරන්ය.

අමල් සිල්වා ඉලක්ක කර ගනිමින් එම වෙඩි ප්‍රහාරය දියත් කර ඇත්තේද අංජුගේ කල්ලිය විසින් බව පැවැසේ.

ඝාතනයට ලක්වූ රන්ජන් ද සිල්වා තිදරු පියෙකි.

ලෝකයක් ආදරය කරන ක්‍රීඩක ධනංජය ද සිල්වා ඔහුගේ දෙවැනි පුතු වන අතර වැඩිමහල් පුතු හිටපු නාගරික මන්ත්‍රි සාවිත්‍ර ද සිල්වාය.

මෙම අබිරහස් ඝාතනයේ සත්‍ය තොරතුරු හෙළිදරව් කර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්, කොළඹ දකුණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ ඇතුළු පොලිස් නිලධාරීන්ගේ සෘජු අධීක්ෂණය යටතේ විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු බව පැවසෙන අංජු නමැති පාතාල නායකයා අත්අඩංගුවට පත් වුවහොත් මෙම ඝාතනයේ අරමුණ කුමක්දැයි හෙළිදරව් කර ගත හැකිය. එම පොලිස් මෙහෙයුම් දෙස ලාංකික ක්‍රීඩාලෝලීන්ද විමසිලි ඇසින් යුතුව බලා සිටී.

තුවක්කු දෙකකින් වෙඩි තියලා දිව්වා ධනංජයගේ සොහොයුරා සාවිත්‍ර

මගේ තාත්තා ගේ ගාව ඉදිරිපිට තිබෙන ගල් බංකුවේ රාත්‍රි 7.40/ 7.45ට විතර වාඩිවෙලා හිටියා. මම ළඟ මාරු සල්ලි නැති නිසා ෆෝන් කාඩ් එකක් දාන්න තාත්තාගෙන් 100ක් සල්ලි ඉල්ලාගෙන ගෙවල් ගාවට පොඩ්ඩක් එහායින් තියෙන කඩේට ගිහිල්ලා ෆෝන් කාඩ් එක ගන්න අතරතුර රතිඤ්ඤා පුපුරන සද්දයක් වගේ මට ඇහුණා.

එතතකොටම මගේ ගෙවල් පැත්තේ ඉඳන් ආව කොල්ලෝ දෙන්නෙක් කිව්වා අන්න උඹලගේ තාත්තාට වෙඩි තියලා කියලා. මම කඩේ ඉඳන් දුවගෙන යනකොට මම දැක්කා තුවක්කු දෙකකින් වෙඩි තියලා දුවන දෙන්නෙක්. අපේ තාත්තා මත්ද්‍රව්‍ය ජාවාරමට තදින්ම විරුද්ධයි. තරුණ පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් බේරා ගන්න. තාත්තා හුඟක් මහන්සි වුණා. මම තමා හිටපු නාගරික මන්ත්‍රි. මගෙන් පස්සේ තමයි ගිය පළාත් පාලන මැතිවරණයට තරග කරලා පොහොට්ටුවෙන් මෙවර ජයග්‍රහණය කරලා මෙවර නාගරික මන්ත්‍රි කෙනෙක් බවට පත් වුණේ. මමත් තාත්තාත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වැඩවලට එරෙහිව කටයුතු කළා. අපි ජීවත් වන ප්‍රදේශයේ හිටියා කුඩු ලංසියා කියලා කෙනෙක්. ඒ පුද්ගලයා වෙඩි ප්‍රහාරයකින් මෑතකදී මියගියා. පස්සේ එයාගේ ගෝලයෙක් වුණ කුඩු අංජු. මේ කුඩු ජාවාරම ජයටම කරගෙන ගියා. ඒවට අපේ තාත්තා විරුද්ධ වුණා. ඒකට කේන්තියෙන් තමා මේ කුඩු අංජු හිටියේ. ඔහුගේ ගෝලයෝ තමා අපේ තාත්තට වෙඩි තිබ්බේ.

කුඩු අංජු කියන කෙනා 'ලංසියාට වඩා තුන් ගුණයකට වඩා වැඩියෙන් කුඩු ජාවාරම කරනවා. කුඩු අංජුගේ මල්ලි තමයි අපේ තාත්තට වෙඩි තිබ්බේ. උගේම ජ්ඕ පිටුවේ අපිට රිදෙන්නම මේ දේ අපි කළා කියලා දාලා තියෙනවා. මම ළඟ ඒ ඉජපඥඥද ඉඩධබ එකත් තියෙනවා. තාත්තා මැරුණේ සමාජය යහපත් තැනක් කරන්න ගිහින්.

ගමේ ධීවරයකුත් එක්ක ගේ ඉස්සරහ වාඩිවෙලා හිටියා-සොහොයුරිය සරෝජිනී

''මගේ එකම අයියා. අපේ පවුලේ සහෝදර සහෝදරියෝ 4 දෙනයි. මගේ බාලම මල්ලි සී.වි. ගුණරත්න මහත්තයා බෝම්බයට අහුවෙච්ච වෙලේ එතැන ඉද්දී මියගියා. මේ නැති වෙලා ඉන්නේ මගේ එකම අයියා.

එදා රෑ අපේ අයියා නගර සභාවේ වැඩ කරන සේවකයකුයි අපේ ගම් පැත්තේම ධීවරයකුයි එක්ක ගේ ඉස්සරහ වාඩි වෙලා ඉන්නවා මම දැක්කා. අපේ ගේ තියෙන්නේ අයියලාගේ ගේ ඉදිරිපිටයි. මට එකවරම රතිඤ්ඤා ගොඩක් පුපුරනවා වගේ සද්දයක් ඇහුණා. මම හිතුවේ අපේ ගේ අසලම පිහිටා තිබෙන විවාහ මංගල උත්සව ශාලාවේ විවාහ මංගල්‍යයකට පත්තු කරපු රතිඤ්ඤා කියලා. ඒ සද්දෙත් එක්කම මට ඇහුණා අක්කේ.. අක්කේ.. කියලා කෑගහන සද්දයක්. එතකොටම මම ආවා. ඇවිත් බලනකොට මම දැක්කා අපේ රත්තරන් අයියා ලේ පෙරාගෙන බිම වැටිලා ඉන්නවා. මම පස්සේ එතැනට දුවගෙන ආපු කට්ටියත් එක්ක එකතු වෙලා වෙඩි වැදුණු අපේ අයියවයි යාළුවෝ දෙන්නවයි රෝහලට රැගෙන ගියා.

ටික වෙලාවකින් මට දැන ගන්න ලැබුණා මගේ රත්තරන් අයියා අපිව දාලා ගිහින් කියලා.

බොරලැස්ගමුව - නිඳුවර අබේසිංහ

චාමර අමරසූරිය
ඡායාරූප - කැලුම් චාමර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon