වන දිවිය විකල් දිවි සැරිය අවුල් වී මිනිස්සු කන වලස්සු

  👤  3610 readers have read this article !
By mawbima 2018-05-27

තඹලගමුව ඇත්තේ කන්තලේ ත්‍රිකුණාමලය ප්‍රධාන පාරේය. තඹලගමුව මීට දශකයකට පෙර මරණයේ ලකුණු ගෙනා පැත්තක්ය. ඒ කාලයේ තඹලගමුව නැඟෙනහිර එල්.ටී.ටී.ඊ. බල ප්‍රදේශයය. ඒ කාලයේ කන්තලේ ත්‍රිකුණාමලය ප්‍රධාන පාර ඔස්සේ තඹලගමුව පසු කරගෙන එන ඇත්තන්ගේ පපුව හීතල වෙලා තිබුණේ කොටි බයටය.

දැන් කොටි තර්ජන අහවරය. කොටි තර්ජන තිබෙන කාලයේවත් තඹලගමුවේ ඇත්තන්ට හෝ මේ පාරේ ආ ගිය ඇත්තන්ට වලස් තර්ජනයක් ඇති වෙතැයි හීනෙකින්වත් හිතී තිබුණේ නැත. එහෙත් අබුද්ධස්ස කාලයේ හැටි කියා දෙන්නට මෙන් දැන් තඹලගමුවේ ඇත්තන්ට වලස් බියක් පැමිණ ඇත්තේය. එක සීරුවට වලස්සු ගම් වදින්නේය. ඒ කතාවේ ආරම්භය මෙසේය.

කන්තලේ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ තඹලගමුව කලාපයට අයත් සිරාජ්නගර්, මොල්ලිපතාන ගම්මාන ඇතුළත් අනූ තුන හා අනූ හත සැතපුම් කණු අතර පිහිටි ගම්මාන කිහිපයක ගැමියන්ට පසුගිය මාර්තු මාසයේ අමුතු අත්දැකීමක් විඳින්නට සිදුවූයේය. මාර්තු අවසාන සතියේ දිනක පැටවෙක් සහිත වැලහින්නක් ගම් වැදී තිබුණාය. ඇය අනූතුන ගම්මානයේ තරුණයකුට පහර දී තිබිණි. තරුණයා බරපතළ තුවාල ලැබීය. අනතුරුව ඔහුව රෝහල්ගත කෙරිණි.

"මෙය අහඹු සිද්ධියක්." කන්තලේ වනජීවී නිලධාරීහු පවසා තිබුණහ. දින කිහිපයකට පසු පාළු ළිඳකින් කුණු වී ගිය වලස් සිරුරක් හමුවිය. මේ ගම්වැදුණ වැලහින්නද වෙනත් සතෙක් දැයි හඳුනාගත නොහැකි බව වනජීවී නිලධාරීහු කීහ.

වලසුන් ගම් වැදීම අහඹු සිදුවීමක් නොවන බව තහවුරු වන්නේ ඊට සතියකට පසුවය. එනම් පසුගිය අප්‍රේල් 05දා උදෑසන අනූහත හන්දියේදී තරුණයන් සිවු දෙනකු වලස් ප්‍රහාරයකට ලක්වීමත් සමඟය. ප්‍රහාරය එල්ල කළ වලසා ලැග සිට ඇත්තේ ගෙමිදුලක් ආසන්නයේ නවතා තිබූ ලොරියක් යටය.
අනූහත මංසන්ධිය අවට කලාපය මුස්ලිම් ජනාවාසයකි. උදෑසන පහට ආසන්නය. ඒ පිරිමි හැමෝම උදෑසන පල්ලියට යන වේලාවය. ලොරිය යට ලැග සිටි වලසා දුටු ලොරිය හිමිකරු මරහඬ දුන්නේය. ඒ සද්දයට වට පිටේ අසල්වාසීහු රොක් වූහ. මේ ගාලගෝට්ටියත් සමඟ වලහා දැඩි ලෙස භීතියට පත් විය. බියපත් මෘගයා අසල සිටි ළමයකුට පා පහරක් එල්ල කළේය. ළමයා බරපතළ තුවාලවලට ලක්විය. ඒ සමඟ වට වූ පිරිස් බියපත් වලහාට කැට මුගුරු ප්‍රහාර එල්ල කරන්නට විය. මේ ප්‍රහාරත් සමඟ ඉදිරියට හමුවන පුද්ගලයන් තිදෙනකුට පහර දී තුවාල කළ වලසා ගෙදරක ඉදිරිපස ‍ෙදාරක් කඩාගෙන ගේ තුළට ගොස් සැඟවුණේය.

වලස් ප්‍රහාරයෙන් තුවාලකරුවන් සිවු දෙනෙක්ය. කතාව කටින් කට ගොස් දැන් අවට එකම විජ්ජුම්බරයක්ය. මිනිසුන්ගේ වෑයම ගෙට වැදුණු වලසා පිටතට ගැනීමය. කෑ ගැසීම් කැට කැබලිති ගැසීම් සහිත පීඩාව නිසා වලසා ගෙයින් එළියට පැන්නේය. එළියට පැන මහපාර දිගේ දුවන්නට ගත්තේය. මේ වනවිට සිද්ධිය කන්තලේ වනජීවී දෙපාර්තමේන්තු කාර්යාලයට සැලවී තිබිණි. ඔවුන් වාහනයක සිද්ධිය වූ තැනට පැමිණියහ.

"වලහා වනජීවී මහත්තුරු අඳුනනවා වගේ එයාලගේ වාහනයට නඟින්න හැදුවා. එතකොට ඒ මහත්තුරු වෙඩි තිබ්බා. අපට හිතෙන්නේ වෙන්න ගිය ලොකු විනාසයක් එයින් නැවතුණා කියලා." සිද්ධිය ඇසින් දුටු සිරාජ්නගර් ගමේ ගැමියෙක් අප සමඟ පැවැසීය. වලහා වෙඩි තැබීම හිතුවට වඩා ආන්දෝලනයක් ගෙනාවේය. වනජීවී ඇමැතිවරයාත්, නැඟෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාත් මේ සම්බන්ධව විශේෂ අවධානය යොමු කර තිබුණේය. වලසා නිර්වින්දනය කර අල්ලා නොගැනීම ගැන වනජීවී නිලධාරීන්ගෙන් ප්‍රශ්න කෙරිණි. පරිසරවේදීහු මේ ප්‍රවේශයට විරෝධතාව දැක්වූහ. වලස් දඩයමේ උණුසුම මැකී යන්නටත් පෙර අනූහතර දුම්රිය මාර්ගය අසල වැලහින්නකගේ මළ සිරුරක් හමුවිය. "කෝච්චියට අහුවෙලා මැරිලා" එසේ කීවත් සිදුවී ඇත්තේ ගම්වැදි වැලහින්නට පහර දී මරා දමා මලකුණ දුම්රිය පාර අසලට ගෙන ගොස් දැමීම බව කියැවිණි. මේ වැලහින්න එළදෙනකටත් පහරදී තිබුණු බව ගම්මු කීහ.

එකිනෙක ආසන්නයේ වාර්තා වෙමින් තිබුණේ ගම් වදිනා වලසුන් ගැන කතාය. අවස්ථා කිහිපයකදීම ගම් මැද්දට පැමිණි වලසුන් ගම්මුන් විසින් පන්නා දමා තිබිණි. එමෙන්ම මොරවැව බී - 5 ගමට පැමිණි වලහෙක් අල්ලාගත් මිනිස්සු උෟට වටකොට පහර දී තිබුණහ. මේ වලසා අල්ලා මුදා හැර තිබුණේ තඹලගමුව රක්‍ෂිතයටය. මේ වලසා රක්‍ෂිතය තුළ පිහිටි නාවික හමුදා ගොවිපොළ වෙත යන රථයකට හසුවී තුවාල වීමෙන් අනතුරුව ගිරිතලේ වනජීවී ඒකකය වෙත භාර දී තිබිණි. මේ අතර නිලාවේලි කළපුවට පැමිණි වලසකුට ගම්වැසියෝ පහර දුන්හ. තුවාල ලැබ වැටී සිටි ඒ වලසාත් මේ වන විට ඇත්තේ ගිරිතලේ වනජීවී ඒකකයේ ප්‍රතිකාර ගනිමිනි.

මේ සිදුවන්නේ කුමක්ද? කවදාවත් බලාපොරොත්තු නොවූ මේ වලස් - මිනිස් ගැටුම ඇති වූයේ කෙසේද? තියුණු සංවාදයක් ඇති විය යුතු ඛේදවාචකයක් අප අබියසය. වලසුන් පමණක් නොව මේ වන විට කොටිත් ගම් වදිමින් ඇති ආකාරය පිළිබඳ තැනින් තැන වාර්තා වේ. තඹලගමුව උල්පත් වැව ප්‍රදේශයේ පමණක් ගම්වැසියන්ගේ ගවයන් තිදෙනකු ගොදුරු කරගෙන තිබිණි. ඊළඟ ඉලක්කය අසරණ මිනිසුන් විය හැකි බවට වන සංඥා ලැබෙමින් ඇත.

ගෝනතොට පරිසර සංවිධානයේ සභාපති අනුර බණ්ඩාර බී.බී.සී. සිංහල සේවයට පවසා තිබූ ආකාරයට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කැලෑ තුළ වලසුන් පන්සියයකට ආසන්න පිරිසක් සැරිසරති. මේ සතුන්ගේ වාසස්ථාන විනාශවීම යුද්ධයෙන් අනතුරුව නැඟෙනහිර පළාත තුළ සිදුවන නිරශ්චීන වන සංහාරය ඇතුළු පරිසර විනාශය මේ ව්‍යසනකාරී ගැටුමට ප්‍රධාන හේතුව බව පරිසරවේදීහු පවසති.

අරිසිමලේ, පුල්මුඩේ හා කින්නියාව ප්‍රදේශවල අක්කර අටදහසකට වඩා මහ වනය මේ මොහොත වන විට සංහාරයට ලක් කර අවසන්ය. දැන් මේ බිම පූර්ණ ජනාවාසයක්ය. නිලාවේලි මොරවැව දෙපස තිබූ වනදහන විනාශ කර ඇත. වලසුන්ගේ ආහාර වන පලු වීර ගස්වල ඡායාවන්වත් දැන් මේ වනාන්තරවල නැත. මී වදයක් වන සතකුට ඉතිරි කරන්නට තරම් මිනිසුන් කාරුණික නැත. ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයට උතුරෙන් පිහිටි සංගිමලේ කඳුයාය ගල්කොරිකාරයන්ගේ ග්‍රහණයේය. මේ ගල්කොරිවලින් විනාශ වී යන්නේ වලසුන්ගේ ස්වාභාවික වාසස්ථාන වන ගල් ලෙන්ය. දවස පුරා කරන වෙඩි දැමීම් මුළු පරිසරයම විකල් කර හමාරය. එමෙන්ම තඹලගමුව රක්‍ෂිතය අභය භූමියක් ලෙස ගැසට් වන්නේ වර්ෂ 1963දීය. මේ අභය භූමියේ ප්‍රධාන වශයෙන්ම අභය ලැබුවෝ වලසුන්ය. මේ භූමියේ අක්කර විසිපහකින් පමණ පටන් ගත් නාවික හමුදා ගොවිපොළක් තිබිණි. මේ වන විට එම ගොවිපොළ අක්කර හැටක හැත්තෑවක පරිමාව ඉක්මවා ගොස්ය. යුද සමයේදී නාවික හමුදාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැලකිය යුතු ප්‍රතිශතයක් මේ ගොවිපොළෙන් ලබාගෙන තිබිණි. ත්‍රිකුණාමලය සහකාර වනජීවී අධ්‍යක්‍ෂ නීතිඥ ඩබ්ලිව්. ලලිත් කුමාර මේ ව්‍යවසනය පෙන්වා දී තිබුණේ මීට වසර තුනකටත් එපිටදීය. මේ ගොවිපොළ ඉවත් කරගෙන වනජීවී දෙපාර්තමේන්තුවට භූමිය ලබාදෙන ලෙස ඔහු ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ලිඛිතව ඉල්ලා තිබිණි. ඔහු පෙන්වා දෙන්නේ නාවික හමුදා වැඩබිම් අභය භූමිය තුළින් ඉවත් වන තාක්කල් මේ ගැටලුව විසඳිය නොහැකි බවයි.

නැඟෙනහිර වන දිවිය විකල්වය. වන සතුන් පමණක් නොව සතුන් බඳු මිනිසුන්ගේ ඉවක් බවක් නැති හැසිරීම නිසා මුළු පරිසරයම විකල්වය. එහි අනිසි ආදීනව ගම්වල නිස්කාංසුවේ ජීවත් වූ මිනිසුන්ටය. කැලෑවේ මිනිස් ඇසකට මුලිච්චි නොවී ජීවත් වූ අසරණ වනසතුන්ගේ ජීවිතවලටය.

සමන් මල්ලවආරච්චි - ත්‍රිකුණාමලය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon