ලංකාවේ අධිකරණ පද්ධතිය දූෂිතද?

  👤  3592 readers have read this article !
By mawbima 2018-05-27

එම විකෘති ආකාරයේ සමාජ මතය වෙනස් කිරීමේ ප්‍රවර්ධනකාරී කටයුත්ත පසුගිය කාලය පුරාවටම සිදුවන ලද්දේ කුමන්ත්‍රණකාරී අරමුණක ප්‍රතිඵලයක් නිසා බව අපට සැකයක් නැත. මෙම රටේ අධිකරණයට පහරදීම මඟින් අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් රටේ ජනතාව සතුව කිසිදු ආකාරයේ විශ්වාසයක් නොමැති බව දැක්වීම තුළින් විදේශීය විනිසුරන් සහිත යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමට අරඅඳින විදේශීය බලවේගවලට රුකුලක් වන හෙයින් මෙම සමාජ මතය සමාජය තුළ ඉතා විකෘතිමය ස්වරූපයකට හා පෙර නොවූ විරූ ආකාරයේ වේගයකින් සමාජගත කරන ආකාරය අපට නිරීක්‍ෂණය කළ හැකිය.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු වන අවස්ථාවේදී ඒ මහතා විසින් ශේ‍ර්ෂ්ඨාධිකරණය වෙත යොමු වූයේ තමාව අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීම වළකාලීමට නියෝගයක් ලබාදෙන ලෙසටය. ගෝඨාභය රාජපක්‍ෂ මහතා එසේ අනුගමනය කරන ලද්දේ නීත්‍යනුකූල ක්‍රියා පිළිවෙළක්ය. එම අවස්ථාවේදී ශේ‍ර්ෂ්ඨාධිකරණය මඟින් ඉතාමත් නිවැරැදි තීන්දුවක් ලබාදෙමින් ඒ ආකාරයේ අසාධාරණ අත්අඩංගුවකට පත්වීමට ඇති ඉඩකඩ අහුරන ලදී. එම තීන්දුව මඟින් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත වුණි. එසේ වුවද රටේ ආණ්ඩුවට මෙම තීන්දුව මරු පහරක් විය. ජනාධිපති, අගමැති ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවට ගෝඨාභය රාජපක්‍ෂ මහතා සම්බන්ධයෙන්, අනෙකුත් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් සහ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාගේ ආධාරකරුවන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරමින් ලබන සතුට ලබා ගන්නට නොහැකි විය. ලංකාවේ දෙවැනි පුරවැසියා වූ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර සිටියේ මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල විනිසුරන්ගේ මතයත් විමසීම් කළ යුතු බවය. රටේ දෙවැනි පුරවැසියා ලංකාවේ ශේ්‍රෂ්ඨාධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් මේ ආකාරයට කරුණු දැක්වීම කොතරම් දුරට උචිතද? මේ ප්‍රකාශය මඟින් රටේ උත්තරීතර අධිකරණය ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ හෑල්ලුවට ලක් නොවන්නේද? මෙමඟින් එම ජාත්‍යන්තර ප්‍රජාවට අවශ්‍ය මතයම මුදාහැරීමට කොතරම් දුරට රටක් වශයෙන් අපට යෝග්‍යද? යන්න කල්පනා කළ යුතුය. එම ප්‍රකාශය මඟින් අප රටට දේශීය විනිසුරන් යොදා දේශීය යාන්ත්‍රණයක් මඟින් යුද අපරාධ විමර්ශනය කිරීම වෙනුවට ජාත්‍යන්තර විනිසුරන් උපයෝගි කරගෙන අප රටේ රණවිරුවන් හා යුද්ධයට අත්‍යවශ්‍ය වූ දේශපාලන නායකත්වය ලබා දුන් නායකයන් දංගෙඩිය වෙත කැඳවාගෙන යෑමට කැස කවන්නන්ගේ කනට මී පැණි වක්කරන්නා වූ ප්‍රකාශයක් බව ප්‍රකාශ කළ යුතුය.

ඉන් නොනැවතුණු එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාද අධිකරණ පද්ධතිය, විනිසුරන් විවේචනය කිරීම ආරම්භ කරන ලද්දේ තමාගේ සුපුරුදු අමනෝඥ බව ප්‍රකට කරමිනි. ඔහු වරක සේයා දැරිය ඝාතනය වූ අවස්ථාවේදී එම දියණියගේ ඝාතනය සඳහා සෘජුවම දුනිෂ් ප්‍රියශාන්ත නමැති තරුණයා (කොණ්ඩය වවාගත් තරුණයා) වගකිව යුතු බවත්, එම තරුණයා විසින් එම දැරිය දූෂණය කොට මරා දැමූ ආකාරය මැනවින් විග්‍රහ කරමින් ප්‍රකාශ කරන ලද අතර රන්ජන් රාමනායක මහතා මේ ආකාරයේ වගකීමකින් තොරව කටමැත දෙඩවීමට කුප්‍රකට අයෙකි. ඊට ඔබ්බට ගොස් තවත් අවස්ථාවකදී විමල් වීරවංශ මහතාගේ ගෙදර තරුණයකු මියගිය අවස්ථාවේ රන්ජන් රාමනායක මහතා ඒ සිද්ධිය ඇසින් දුටුවා වගේ ප්‍රකාශ නිකුත් කර එවකට සාමාන්‍ය පෙළ හදාරමින් සිටි ඒ මහතාගේ දියණිය සහ පවුලේ අය අපහසුතාවට පත් කළ ආකාරය අපට මතකය. අමූලික බොරු ප්‍රකාශය කරමින් එය මනුෂ්‍ය ඝාතනයක් බවට මති මතාන්තර ඉදිරිපත් කරන ලද්දේ කිසිදු වග විභාගයක් නොමැතිවය. පසුව අධිකරණයේදී එය ස්වාභාවික මරණයක් බවට තීරණය විය. මෙවැනි ඔහුගේ අමනෝඥ ප්‍රකාශ ඕනෑ තරම් උදාහරණ වශයෙන් දැක්විය හැකිය. පසු අවස්ථාවකදී රන්ජන් රාමනායක මහතා අප රටේ විනිශ්චයකරුවන් නිර්දය ලෙස විවේචනය කිරීම ආරම්භ කරන්නේ කිසිදු පදනම් සහගත සාක්‍ෂියක් හෝ නොමැතිවය. එසේ හේතු කොටගෙන අද වන විටදී රන්ජන් රාමනායක මහතාට අධිකරණයට අපහාස කිරීම යටතේ ශේ්‍රෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු වී තිබේ.

තත්ත්වය එසේ තිබියදී පසුගිය දිනකට ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන ගැති පුද්ගලයන් ද සහභාගි වෙමින් නීතිඥවරුන් කිහිපදෙනකු සහභාගි ව සිටිමින් අධිකරණය විනිශ්චයකාරවරුන් නීතිඥවරුන් සම්බන්ධයෙන් දැඩි ද්වේෂ සහගත ලෙස විවේචන එල්ල කරන ලදී.

රාජ්‍ය සේවය හා පොලිසිය සම්බන්ධයෙන් අධිකරණ ක්‍ෂේත්‍රය තුළ ද යම් ආකාරයක විවේචන සමාජය තුළ ඇති වුවද ඒවා අවම කිරීම උදෙසා බොහෝ අවස්ථාවලදී අධිකරණවල ප්‍රධානියා වන විනිශ්චයකාරවරුන් දැඩි වෙහෙසක් දරමින් මහජනයාට අවශ්‍ය සේවය නොපමාව ලබා දීමට තම ශක්ති ප්‍රමාණයටත් ඔබ්බට ගොස් කටයුතු කරන බව මාගේ අත්දැකීමෙන් දනිමි. එසේ වුවද මෙම අවස්ථාවේදී විනිශ්චයකාරවරුන් පිළිබඳව මෙම නිර්දය විවේචනයන් හෙළා දැකිය යුතු වන්නේ මෙවැනි කරුණු හේතුවෙන් රටේ අධිකරණ ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් ජනතාවට ඇති විශ්වාසය පලුදු වීමෙන් සමාජයේ යථා පැවැත්ම බිඳ වැටෙනවා මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවගේ ඕනෑ එපාකම්ද ඉෂ්ට වන හෙයිනි.

රන්ජන් රාමනායක මහතා මේ ආකාරයෙන් හැසිරීම අපට පුදුමයක් නැත. නමුත් ඔහු විසින් එකතු කරගන්නට යෙදුණු නීතිඥවරුන් විසින් සිදුකරන මෙම කාර්යය සම්බන්ධයෙන් අපට ඇත්තේ පිළිකුලකි. එම අවස්ථාවේදී අදහස් දැක්වූ නීතිඥවරිය මහත් අභිමුඛයෙන් ප්‍රකාශ කරන්නට යෙදුණ සමාජ සාධාරණත්වය හෝ අල්ලස දූෂණයෙන් තොර සමාජයක් බිහිකරන්නට කරන වෑයමකට කිසිදු ලෙසකටත් උදවු උපකාර නොකරන හුදෙක් අප රටේ අධිකරණ ක්‍ෂේත්‍රයේ විනිශ්චයකාරවරුන් අමනෝඥ, ප්‍රයෝගකාරී, විනයක් නොමැති පක්‍ෂපාති පුද්ගලයන් වශයෙන් හඳුන්වාදීම මඟින් පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතාගේ හිසට උඩින් එල්ලෙන කඩුව ඉවත් කිරීමට උදවු කිරීමට, රන්ජන් රාමනායක මහතා අධිකරණය සම්බන්ධයෙන් සිදුකරන්නට යෙදුණු ඒ අතිශය මුග්ධ ද්වේෂ සහගත විවේචන සාධාරණ යැයි සමාජයට පෙන්වීමට ගන්නා උත්සාහය කිසිදු අවස්ථාවකදී සාර්ථක නොවන බව අවධාරණය කරමි.

ඉතිරිය ලබන සතියේ...
නීතිඥ ප්‍රේම්නාත් සී. ‍ෙදාළවත්ත

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon