ජීවිත දෙකක් බේරාගත් පින පලදීලා

  👤  4037 readers have read this article !
By mawbima 2018-05-25

බළන්ගොඩ - පියසේන එන්. හේවගේ

ගංවතුරේ ගසාගෙන යන කොටයක් මත පාවෙමින් යන සුනඛයකු බේරා ගැනීමට ගොස් සිදුවූ අපූරු සිද්ධියක් බළන්ගොඩ පල්ලෙවෙල ප්‍රදේශයෙන් වාර්තා වේ.

පසුගිය දිනවල පැවති තද වර්ෂාව නිසා වලවේ ගඟේද ජල මට්ටම ඉහළ ගියේය. මෙහිදී ගඟ අයිනේ සිටි ගවයන්, සුනඛයන් වැනි සතුන්ද ජලයේ ගසාගෙන ගියෝය. ගඟේ ජල මට්ටම නැඟ එන අයුරු ගං ඉවුරට වී පිරිසක් බලා සිටියහ. ඒ අතරේ වතුරේ පාවී එන විශාල කොටයක් දැක ඒ දෙස කවුරුත් විපරම් කළේ රැහැනක් දමා ගොඩට ගත හොත් ප්‍රයෝජනයක් ගත හැකි බව සිතමින්ය. එම බලාපොරොත්තුනේම එක් තරුණයකු ගඟට නැමුණු කුඹුක් ගසක අත්තක් මතට වී රැහැනක්ද අතැතිව බලා සිටියේය. මෙම කොටය මත සුනඛකයකුද පාවී එන බව දුටු මොහු රැහැනේ තොණ්ඩුව මානා කොටය වෙත දමා ගසා කොටය අල්ලාගෙන ගං ඉවුරට ඇදගත්තේය. එවිටම දිවි බේරා ගැනීමේ අටියෙන් බල්ලා ගොඩට පැන දිව්වේය. කෙසේ හෝ ගඟේ ජලය අඩු වූ පසුව මෙම ලුනුමිදෙල්ල කොටය ප්‍රයෝජනයට ගත හැකි බව සිතූ තරුණයා එය ගං ඉවුරේ උණ පඳුරක ගැට ගැසීමට සූදානම් විය. කිසිවකුත් බලාපොරොත්තු නොවූ පරිදි දැවැන්ත පොළඟකු කොටයේ තිබූ බෙනය තුළින් තරුණයා දෙසට පැන්නේය. මොහු ඉතා අපහසුවෙන් දිවගොස් අසල තිබූ පුවක් ගසකට නැඟ දිවි බේරාගත් අතර, පොළඟා කැලයට ඇදී ගියේය. මේ අතරේ කඹයද සමඟ කොටය යළි ගඟේ ගසාගෙන ගියේය. පුවක් ගසින් බැස ගත් තරුණයා කීවේ ජීවිත දෙකක් බේරා ගත්තු පින නිසා තම ජීවිතය බේරුණු බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon