අධි විස සහිත පළිබෝධනාශක භාවිතය සෑහෙන විදියට අඩුවෙලා

  👤  3841 readers have read this article !
By mawbima 2018-05-25

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

මෙරට වී, එළවළු, පලතුරු ඇතුළු බෝග සඳහා භාවිත කෙරෙන පළිබෝධනාශක අතුරින් අධි විස සහිත පළිබෝධනාශක භාවිතය මේ වන විට විශාල වශයෙන් අවම වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ තොරතුරු අනුව උග්‍ර විස සහිත පළිබෝධනාශක වර්ග 40ක් 2002 වර්ෂයේ භාවිත කළත් මේ වන විට එය 1ක් දක්වා 98%න් අඩු වී ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.

එම වාර්තාවලට අනුව සාමාන්‍ය විස සහිත පළිබෝධනාශක 187ක් 2002 වසරේ ලියාපදිංචි කර ඇති අතර එය 2016 වර්ෂය වන විට 133 දක්වා අඩු වී තිබේ.

එසේම සුළු විස සහිත පළිබෝධනාශක වර්ග 88ක් 2002දී ලියාපදිංචි කර ඇති අතර එය මේ වන විට 168 දක්වාත් ඉතාමත් මඳ විස සහිත පළිබෝධනාශක වර්ග 115ක් 2002 වර්ෂයේ භාවිත කළ ප්‍රමාණය මේ වන විට 162ක් දක්වාත් ඉහළ ගොස් තිබෙන බව එම වාර්තාවලින් අනාවරණය වී තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ශ්‍රී ලංකාවේ පළිබෝධනාශක භාවිතය සම්බන්ධව නිලධාරීන්ගෙන් තොරතුරු විමසනු ලැබූ අවස්ථාවේ එම නිලධාරීන් ඉහත තොරතුරු අමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කර තිබේ.

මේ වන විට අධි විස සහිත පළිබෝධනාශක භාවිතය අවම වෙමින් තිබෙන අතර මඳ විස සහිත පළිබෝධනාශක භාවිතය වැඩිවෙමින් පවතින බව එහිදී එම නිලධාරීන් ඉහත දත්ත පෙන්වා දෙමින් අමාත්‍යවරයා හමුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon