මිලියන 130ක් අරන් අගරු චෙක්පත් දුන් කාන්තාව යළි ඇතුළට

  👤  3971 readers have read this article !
By mawbima 2018-05-25

අමිල අබේරත්න

රත්රන් කිලෝ 25ක් ගෙන්වා දෙන බව පවසා ව්‍යාපාරිකයකුගෙන් මුදල් රුපියල් මිලියන 130ක් ලබාගෙන අගරු චෙක්පත් ලබාදී වංචා කළ කාන්තාවක් ලබන මස 1 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය පෙරේදා (23දා) නියෝග කළාය.

විත්තිකාරිය බන්ධනාගාරගතව සිටියදී සිද්ධියට අදාළව සහ විත්තිකාරියගේ බැංකු ගිණුම්වල තොරතුරු පිළිබඳව ප්‍රකාශ සටහන් කරගන්නා ලෙසද මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට දන්වා සිටියාය.

මෙරටට රත්රන් ගෙන ඒමේ බලපත්‍රයක් තමාට තිබෙන බව හා ටී.එල්. ගෝල්ඩ් නමැති පෞද්ගලික සමාගම තමාගේ බවත් වංචාව සිදු කළ විත්තිකාර කාන්තාව ව්‍යාපාරිකයාට පවසා ඇති අතර ඒ අනුව විත්තිකාර කාන්තාවට ව්‍යාපාරිකයා විසින් රත්රන් කිලෝ 25ක් මෙරටට ආනයනය කිරීම සඳහා මිලියන 130ක මුදල ලබාදී ඇත.

විත්තිකාරිය විසින් ව්‍යාපාරිකයාගෙන් මුදල් ලබාගෙන රත්රන් ගෙන්වාදී නොමැති අතර ලබාගත් මිලියන 130ක මුදල පියවීම සඳහා ලබාදී ඇත්තේද අගරු චෙක්පත්ය.

ඒ අනුව පැමිණිලිකරු වන ඩේවිඩ් ප්‍රදීපන් සවුන්දරනායගම් විසින් සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 5 ස්ථානාධිපතිවරයාට පැමිණිලි කර ඇති අතර ඒ අනුව විත්තිකාරියව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

පැමිණිලිකරු වන ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ විත්තිකාර කාන්තාවට රත්රන් ගෙනඒම සම්බන්ධයෙන් ආනයන අපනයන පාලක පනත යටතේ බලපත්‍රයක් නොමැති බවත් විත්තිකාර කාන්තාව විසින් රත්රන් ග්‍රෑම් 300ක ප්‍රමාණයක් විකිණීමේ ගනුදෙනුවක් පමණක් සිදුකර ඇති බවය.

එය සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය දන්වා සිටියේ ආනයන අපනයන පාලක පනත යටතේ බලපත්‍රයක් නොමැතිව රත්රන් මෙරටට ගෙන්වා ඇත්නම් එය වැරැද්දක් බවය.

කනගසිංහම් ශාන්ති නමැති විත්තිකාරිය රත්රන් ගෙන්වා දෙන බවට පොරොන්දු වී මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කිහිපයක් ඇති තැනැත්තියකි.
නඩුව ජුනි 1 වැනිදා යළි කැඳවීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon