ඇප කොන්දේසි කඩ කළ මන්ත්‍රි සනත් නිශාන්ත හා ඔහුගේ සොයුරු ලබන 7දා තෙක් යළි රිමාන්ඩ්

  👤  3866 readers have read this article !
By mawbima 2018-05-25

නාත්තණ්ඩිය - සමන්ප්‍රිය ජයශාන්ත

ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සහෝදරයකු වන ජගත් සමන්ත පෙරේරා යන දෙදෙනා ලබන මස 7 වැනිදා දක්වා හලාවත මහාධිකරණය විසින් නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

හලාවත මහාධිකරණ විනිසුරු සංජීව මොරායස් මහතා ප්‍රතිකාර සඳහා රෝහල් ගත වී සිටින බැවින් මෙම නඩුව ඊයේ (24දා) මහාධිකරණ රෙජිස්ට්‍රාර් අජිත් ජයසුන්දර මහතා ඉදිරියේ කැඳවන ලදී. චූදිතයන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ එම අවස්ථාවේදීය.

රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද සනත් නිශාන්ත පෙරේරා මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කර ජයග්‍රහණය කෙළේය. ජගත් සමන්ත පෙරේරා මහතා පසුගිය කාලයේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර පසුගිය පළාත් පාලන මැතිවරණයෙන්ද ඔහු ජය ගත් නමුත් සභාපති ධුරය හිමි නොවීය.

2008 නොවැම්බර් මස 4 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී එවකට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාව සිටි ධනසේන සුරසිංහ මහතාට කරුක්කුලිය ජයතිලකාරාම විහාරස්ථානයේදී පහර දී රාජකාරියට බාධා කරන ලදැයි චූදිතයන්ට එරෙහිව හලාවත මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.

නඩුව හලාවත මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් ඇප මත මුදා හැර ඇත. ඒ සතියේ සෑම ඉරු දිනකම හලාවත පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස ඇප කොන්දේසියක් පනවමිනි.

පසුගිය මාර්තු මස 19 වැනිදා මෙම නඩුව හලාවත මහාධිකරණ විනිසුරු සංජීව මොරායස් මහතා ඉදිරියේ කැඳවන ලදී. චූදිතයන් දෙදෙනා 2017 ජුනි මස 17 වැනිදා සිට හලාවත පොලිසිය හමුවේ පෙනී සිට නොමැති බව එම අවස්ථාවේදී අනාවරණය විය.

ඒ අනුව අධිකරණ ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනාව යටතේ චූදිතයන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. නීතිඥ රුවන් ප්‍රනාන්දු මහතා චූදිතයන් වෙනුවෙන් පෙනී සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon