‘කොළඹ’ ඉන්දියන් සාගරයේ හොඳම නගරය කරනවා

  👤  3810 readers have read this article !
By mawbima 2018-05-25

ශ්‍රී ලංකාව ආර්ථිකයෙන් සවිමත් වූ රටක් බවට පත් කිරීමට තම ආණ්ඩුව සූදානම් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසුවේ මාදම්පිටිය හේනමුල්ලේ ඉදිකරන ලද "මෙත් සඳ සෙවණ" මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවැති උත්සවයේදී ජනතාව අමතමිනි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතායි. මෙම මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීම ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර නිවාස ලාභීන්ට සංකේතාත්මකව නිවෙස්වල යතුරු ලබාදීම ජනාධිපතිවරයා අතින් සිදුකෙරිණි. ජනාධිපතිවරයා මහල් නිවාස සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකටද එක්විය.

හේනමුල්ල මෙත්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණය නිවාස ඒකක 722කින් සමන්විත අතර කොළඹ 14, බ්ලූමැන්ඩල් 87 වත්ත, මාදම්පිටිය, 318 වත්ත, ජනාවාසයේ වත්මන් පදිංචිකරුවන් සහ කොළඹ අගනගරය ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය නිසා අවතැන් වන පවුල් එම නිවාසවල පදිංචි කෙරේ.
උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.

කොළඹ නගරයේ මෙම සංවර්ධනය ආරම්භ කළේ 2015 දී මේ ආණ්ඩුවයි. කොළඹ නගරය ඉන්දියන් සාගරයේ හොඳම නගරයක් බවට පත්කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි කොළඹ නගර සංවර්ධනය කරා රැගෙන යනවා. කොළඹ නගරයට හොඳ සංවර්ධන සැලැස්මක් තිබුණේ නැහැ ඉස්සර. නමුත් දැන් එවැනි තත්ත්වයක් ඇති වී තිබෙනවා.ඝ

අද කොළඹ නගරයේ අලුත් ව්‍යාපෘති රැසක් ආරම්භ වී තිබෙනවා. අද මේ නගරයට විශාල ඉල්ලුමක් ඇතිවෙලා. අද ආයෝජකයෝ කොළඹට එනවා. අපි නිවාස ඉදිකිරීමේ යෝජනා 2ක් ඉදිරිපත් කරලා තිබෙනවා.

අපි ජනතාවට ණය ලබා දෙනවා නිවාස ඉදිකිරීම වෙනුවෙන්. අපි තට්ටු නිවාස ඉදිකරනවා. පැල්පත්වාසීන්ට තට්ටු නිවාස ලබාදීමට අපි කටයුතු කරනවා.

නාගරික සංවර්ධන අධිකාරියයි මෙහි මූලික වගකීම භාර ගත්තේ. නමුත් එය එතරම් සාර්ථක වුණේ නැහැ. අපි 2015 දී එදා තිබුණු ණය ගෙවලයි මෙම ව්‍යාපෘති නැවත අලුතෙන් ආරම්භ කරන්නට පටන් ගත්තේ.

කොළඹ නගරය ශක්තිමත් කරමින් මුළු රටේම ආර්ථිකය ශක්තිමත් කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ.

එදා මෛත්‍රිපාල සිරිසේන මේ රටේ ජනාධිපති වුණු වෙලාවේ අපිට සල්ලි තිබුණේ නැහැ. අපි හැමතැනටම ණය වෙලයි තිබුණේ. නමුත් අපි ඒ උවදුරින් මේ රට බේරාගත්තා. අපි මේ රටේ යටිතල පහසුකම් සංවර්ධනය කළා. අද මේ රටට අලුත් ගමනක් යන්නට අවස්ථාව ලැබිලා තිබෙනවා. අද මේ රට සංවර්ධනය කරා ගමන් කරමින් සිටිනවා.

අපිට අවශ්‍ය කොළඹ නගරය දියුණු තත්ත්වයකට රැගෙන ඒමටයි. අද කොළඹ නගරයට විශාල ඉල්ලීමක් ඇති වෙලා. කොළඹ නගරයේ නිවාස ඉදිකිරීම වෙනුවෙන් මේ වන විට විශාල ඉල්ලීමක් ඇති වී තිබෙනවා. අපි මේ රට භාරගන්නා විට තිබුණු ණය කන්දරාවෙන් බේරාගත්තා. අපට අවශ්‍ය මේ රට ආර්ථිකයෙන්ශක්තිමත් රටක් බවට පත්කරන්නටයි. අද අපි රටට හොඳ අනාගතයක් උදා කරලා තිබෙනවා. අද රටේ ජනතාවට රටේ ආර්ථිකය ගැන විශ්වාසයක් ඇති වී තිබෙනවා.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය
ඡායා - උදේශ් රණසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon